ගෙදරට කොටුවුණු පොඩ්ඩන් සතුටින් තියන්නේ මෙහෙමයි

by Ravi Gamage

කෝවිඩ්-19 වෛරසය ලොව පුරා දරුවන්ගේ මානසික ආතතිය වැඩි කිරීමට සමත් වූ බව මේ වන විට මනෝ වෛද්‍ය විශේෂඥවරුන් තහවුරු කර තිබේ. ලොව පුරා පවතින මෙම තත්ත්වය අපටද පොදු වූවකි. මානසික ආතතිය අප කාට වුවද තිබෙන සාමාන්‍ය තත්ත්වයක් වන නමුත් මෙය වැඩි වර්ධනය වන්නේ නම් පමණක් එය මානසික රෝගී තත්ත්වයක් වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.

දරුවෙකුට මානසික ආතතිය ඇති නම් එම දරුවා විභාගයට පාඩම් නොකර සිටිනු ඇත. විභාගයට පාඩම් කරන්නට යැයි කී විට දරුවාට ආතතියක් ඇතිවේ. එහෙත් දරුවාට විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ගන්නා ලෙස බලපෑම් කරන විට දැනෙන ආතතිය ඊට වඩා වැඩිය. මෙම ආතතිය දරුවා මානසික රෝගියෙකු දක්වා ගෙනයාමට හේතුවක් වීමට ද පුළුවන.

කෝවිඩ්-19 වෛරසය පැතිර යාමත් සමග නිවෙස්වලට කොටු වූ දරුවන්ගෙන් මේ වන විට විවිධ හැසිරීම්, දඩබ්බරකම්, අකීකරුකම්, බිය වී කෑගැසීම්, හීනෙන් බියවීම්, වැනි ලක්ෂණයන් පෙන්නුම් කරන බව වාර්තා වී තිබේ.කොරෝනා වෛරසය පැතිරයාමත් සමග දරුවන් තුළ සාංකාව, බිය, මතුව ඇත්තේ ඔවුන්ගේ දෙසවනට නිතරම අසන්නට ලැබෙන අසනීප තත්ත්වයක් හා එමගින් පුද්ගලයන් මියයෑමේ කතා හේතුවෙනි. දරුවන්ගේ දෙසවනට නිතර නිතර ඇසෙන මේ කතා හේතුවෙන් තමා මෙන්ම තම දෙමාපියන්ද අනාරක්ෂිතව ඇතැයි යන්න ඔහුට සිතෙනවා විය හැකිය. තමන් මිය යයිද? තමන්ගේ දෙමාපියන් මියයයිද? අසනීප වෙයිද? යන්න දරුවාගේ සිත තුළ බියක් හා චකිතයක් හටගන්නේය. මෙසේ දරුවාගේ සිත තුළ හටගන්නා සැක සංකා දරුවාට මානසික පීඩාවන් ඇති කිරීමට හේතු වේ.

 

මෙසේ දරුවන්ගේ මනසට ඇතිවන සැක සංකා හේතුවෙන් ඔවුන්ගේ දඩබ්බරකම් මතු වන්නට පුළුවන. තමන්ගේ සිතට නැගෙන සැක සාංකා ඇතැම් දරුවන් පිටකිරීමට උත්සාහ කරනුයේ මුරණ්ඩුකම් පෙන්වමිනි. ඒ, දෙමාපියන්ට අකීකරු වීමෙන්, ඉවක් බවක් නොමැතිව කෑ ගැසීමෙන්, වැඩිපුර දැඟලීමෙන් විය හැකිය.

තවත් විටෙක ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දරුවන් තමන්ගේ ළමා ලෝකයෙන් ඈත් කර තම නිවස තුළ සිරකර ගනිමින් සිටීමට සිදුවීම තුළ දරුවන්ගේ මානසික පීඩනය වැඩි වී එය පිටකිරීම සඳහාද ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම්වලට දරුවා පෙලඹෙනවා විය හැකිය. තමන්ගේ නිදහස් පරිසරයට දෙමාපියන් විසින් දොරගුළු දමා සිර කර ඇතැයි යන්න ඔවුන් සිතනවා විය හැකිය. එම දොරගුළු බිඳ දැමිය යුතුයැයි සිතමින් ඔවුන් මෙසේ හැසිරෙනවා වන්නටද පුළුවන.

තවත් දරුවන් පිරිසක් තමන්ගේ සිතට නැගෙන බිය සංකා පිටකිරීමට උත්සහ කරනුයේ රාත්‍රි නින්දෙන්ය. සිත තුළ සිරකරගෙන සිටින පීඩනය ඔවුන් පිටකරනුයේ හීනෙන් කෑ ගසමින් දඟලමින් හා දොඩවමිනි.

මේ තත්ත්වයන් දරුවා තුළ වැඩිවර්ධනය වුවහොත් නම් එය මානසික ආතතිය බවට පත් විය හැකිය. කෙසේ නමුත්ක කොරෝනා  වෛරස ව්‍යාප්තියත් සමග රට තුළ උද්ගතව ඇති තත්ත්වය සමතයකට පත්ව ජනජීවිතය යථා තත්ත්වයට පත් වූ පසුවද දරුවන් තුළ මෙවැනි ගති ලක්ෂණ දිගටම පවතින්නේ නම් මනෝ වෛද්‍යවරයෙකු වෙත යෑම උචිතය.කෙසේ නමුත් දරුවා තුළ මේ වන විට ගොඩනැගී ඇති මෙම ව්‍යාකූල තත්ත්වය මගහරවා ගැනීමට දෙමාපියන් ලෙස අපට කළ හැකි දෑ බොහෝය .

  1. දරුවන් සමග හැම විටම කුලුපගව කතාබස් කරන අතර නව නිර්මාණයක් කිරීමට දරුවා ව පොලඹවා ගැනීමට ඔබට හැකිය. මෙහිදී පුංචි පුංචි කතාන්දර කියා දීම හා ඒ හරහා පුංචි කතාන්දර පොතක් දරුවා සමග එක්ව නිර්මාණය කිරීම.
  2.  ඔබගේ පින්තූර ඇල්බමය ගෙන එය දරුවාට පෙන්වීම හා ඒ පින්තූරය ආශ්‍රයෙන් ඔබගේ ජීවිතයේ රසවත් සිදුවීම් ඇත්නම් එය දරුවාට කියා දීම වැදගත්ය.
  3.  නිවසේ තිබෙන සුළු සුළු ද්‍රව්‍ය යොදා ගනිමින් අත්කම් නිර්මාණයන් කිරීමට දරුවාට කියා දීම.
  4. ආච්චි හා සීයා නිවසේ සිටින්නේ නම් ඔවුන්ගෙන් රජ කතා ඇසීමට දරුවා පෙලඹවීම.
  5. කෝවිඩ් මරණ, ආසාදිත පුද්ගලයන් සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය මගින් පළවන ප්‍රවෘත්ති නිතර නිතර ඇසීම හ�ෝ නැරඹීම නතරකර එය දිනකට එක්වරක් හා දෙවරකට සීමා කිරීම.
  6. එවැනි ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිවස‌ තුළ නිතර නිතර කතා නොකිරීම.
  7. නිවසේ සියලුම දෙනා මේ දිනවල නිවස තුළම රැඳී සිටින බැවින් දරුවන් සමග දිනකට සුළු වේලාවක් කිසියම් ක්‍රීඩාවක යෙදීම.
  8. දරුවන්ට යම් දෙයක් කිරීමට වැඩිහිටියෙක් උපදෙස් දෙනවා නම් එම උපදෙස් වැළැක්වීමට තවත් කෙනෙකු ඉදිරිපත් නොවීම. (උදාහරණයක් ලෙස කියනවා නම් මව දරුවාට යමක් කරන්න යැයි උපදෙස් දෙන විට පියා එය නොකරන ලෙසට පවසයි නම් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දරුවා ගැටලුකාරී තත්ත්වයකට පත්වේ.

තවද මේ දිනවල දරුවන් වැඩි වශයෙන්ම රූපවාහිනීය, සෙලියුලර් දුරකථනයට එසේත් නොමැති නම් අන්තර්ජාලයට යොමු වන්නට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩිය. මේ තත්ත්වයෙන් දරුවා මුදා ගැනීමට වැඩිහිටියන් වන ඔබ කල්පනාකාරී විය යුතුය. මන්ද දරුවන් ඉක්මනින් ඇබ්බැහිවන ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් මාධ්‍ය හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම අන්තර්ජාලය. මෙම ක්ෂේත්‍රයට ඇබ්බැහි වුවහොත් දරුවන්ගේ මානසික ආතතිය තවත් වැඩිවිය හැක.තවත් එක් කරුණක් වන්නේ මේ දිනවල පාසල් නිවාඩුව දීර්ඝව පවතින බැවින් දරුවන් උදෑසන වැඩි වේලාවක් නින්දට හුරුවීමය. මෙය පාසල ආරම්භ වුණ දිනක දරුවාට පාන්දර නැගිටීමේ ගැටලු ඇති වන්නට පුළුවන. මේ නිසා පාසල පවතින දිනවල ඔබ දරුවා උදෑසන අවදි කළ අන්දමටම අවධිකර මුහුණ කට සෝදා කවා පොවා පැය කීපයක් පාසල් වැඩවල යොමු කරවීම වඩාත් උචිතය. මෙවන් දින චර්යාවක් ඔබ ඔබගේ දරුවාට හුරු කරන්නේ නම් පාසල් ආරම්භ කළ දිනට ඔහුට ගැටලු මතු නොවනු ඇත.

කෙසේ නමුත් මේ දිනවල දරුවාගේ සිතට පැන නැගී ඇති බිය, තමා අනාරක්ෂිතයි යන්න හැඟීම පහව යන පරිදි දෙමාපියන් දරුවන් සමගම කටයුතු කිරීම ඉතාමත් වැදගත්ය. ඔවුන් කිසි විටෙකත් අනාරක්ෂිත නැති බව ඒත්තු ගැන්වෙන පරිදි කටයුතු කිරීම දෙමාපියන් වන ඔබගේ වගකීමකි. යුතුකමකි. එසේ ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබගේ දරුවා කිසි විටෙකත් මානසික ආතතියට ලක් නොවනු ඇත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා හා නව යොවුන් විය
පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ
අපේක්ෂා හේවාගීගන

සති අග අරුණ පුවත්පත ඇසුරෙනි

Leave a Comment

සබැඳි සටහන්....