රුව වඩන සුව නින්ද

by Ravi Gamage

* නින්ද යනු කුමක්ද?     

පුද්ගලයාගේ කායික මානසික විවේකය සඳහා ප්‍රමාණවත් නින්දක් ලැබිය යුතුය. නිද්‍රාවේගධාරණය මෙන්ම අතිනිද්‍රාව (වැඩියෙන් නිදා ගැනීම) සහ අනිද්‍රාව (නින්ද නොයෑම හෝ ඉතා සුළු වේලාවක් නින්ද යෑම) රෝගකාරක අවස්ථා වෙයි. එසේම සමහර රෝගවල රෝග ලක්‍ෂණ ලෙස නින්දේ විපර්යාස ඇතිවේ. මෙවැනි කාරණා ද මුල් කරගෙන ආයුර්වේදයෙහි නින්ද පිළිබඳ පැහැදිලිව දක්වා ඇත. ආයුර්වේද මතයට අනුව තමෝගුණය (මනස් ගුණයකි) සහ සෙම්දෝෂය යන දෙක මනස තුළ වැඩිවීමෙන් මනස, අරමුණු හා ගැටෙන ඇස, කන ආදී ඉන්ද්‍රියයන් සම්බන්ධයෙන්තා වකාලිකව වෙන්වීම නින්ද නම් වේ. මේ දෙකෙහි ක්‍රියාව අවසන් වූ පසු නින්ද අවසන් වේ. එනම් පුද්ගලයා අවදි වෙයි.

* නින්දේ අවශ්‍යතාව

දිවා කාලයෙහි විවිධ කාර්යයන්හි නිරතවීමෙන් ලබන වෙහෙස දුරුකර කායික හා මානසික විවේකය ලබනු පිණිස රාත්‍රී කාලයෙහි පුද්ගලයාට සුවදායක නින්දක් අවශ්‍ය වේ. මුලදී සඳහන් කළ පරිදි නිද්‍රා වේගය වැළැක්වීමෙන් ශාරීරික ශක්තිය පිරිහී ගොස් ඔබගේ ප්‍රසන්න බව නැති වෙනවා මෙන්ම විවිධාකාර රෝගවලට ද ගොදුරුවනු ඇත. සාමාන්‍යයෙන් කුඩා ළදරුවෙකුට පැය 15-16 අතර කාලයක්ද පාසල් වයසේ දරුවකුට පැය 8-10 අතර කාලයක් ද වැඩිහිටියකුට පැය 7-8 අතර කාලයක් ද වශයෙන් ප්‍රමාණවත් නින්දක් සුවස්ථ පුද්ගලයකුට දිනකට අවශ්‍ය වේ. එසේම බ්‍රහ්ම මුහුර්ථයෙන් හෙවත් උදෑසන 4.45-5.00 අතර කාලයෙහි අවදිවීමද ඔබගේ සෞඛ්‍ය සංරක්‍ෂණයට හේතු වෙයි.

* දහවල් නින්ද

දහවල් කාලයේ නිදා ගැනීමද අහිතකර වේ. දිවා නිද්‍රාව නිසා සෙම කෝප වේ. එවිට සෙම් රෝග හට ගනියි. එමගින් දියවැඩියාව, හිසරදය ආදී රෝග හට ගැනීමේ ඉඩකඩ වැඩිවේ. සුවදායක නින්දකින් ලැබිය හැකි ප්‍රයෝජන ම�ොනවා ද? සුවදායක නින්දකින් පසු සිරුර ශක්තිමත් වේ. එවිට ඔබගේ දෛනික කටයුතු ඉතා ප්‍රබෝධයෙන්කි රීමේ හැකියාව ලැබේ. ශරීරය පුෂ්ටිමත් වේ. අධික ලෙස කෘශ නොවේ. මොළයේ ක්‍රියාකාරිත්වය යහපත් වනු ඇත. එවිට මතක ශක්තිය වර්ධනය වේ. ආහාර රුචිය හා ආහාර දිරවීමේ ශක්තිය වර්ධනය වේ. මුහුණ ප්‍රසන්න වේ. ශරීරය සැහැල්ලු වේ. ශරීර වර්ණය ඇතිවේ. ආතතිය අඩුවේ. මානසික ප්‍රසන්නබව ඇතිවේ. රුධිර පීඩනය පාලනය වේ. ප්‍රතිශක්තිකරණය වර්ධනය වේ, ආදී බොහෝ ප්‍රතිලාභ යහපත් නින්දකින් ලැබෙන අතර එය ඔබගේ සුන්දරත්වයට ද වැදගත් වේ.

* නින්දේ වෙනස්කම් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

රාත්‍රි ආහාරය දිරවීමට අපහසු බර ආහාර වර්ග ගැනීම වාත කෝපයට හේතු වන අති මෛථුන සේවනය, වැටීම් තැලීම් ආදිය, අධික ලෙස රක්තය පිටවීම ආදිය පාරිසරික උෂ්ණත්වය ඉහළ යෑම පඤ්චකර්ම විධි වැරදි ලෙස යෙදීම නිදන කාමරයේ ප්‍රසන්නබව අඩුවීම කායික මානසික ව්‍යායාමයෙන් තොරවීම අධික භය, ශෝකය, ක්‍රෝධය ආදි දුෂ්සිතිවිලි නිසා මානසිකව ඇතිවන වියවුල්බව මහලු වයස අතිශයින් තියුණු ඖෂධ වර්ගවල ගන්ධය දිර්ඝකාලීනව ආඝ්‍රාණය කිරීම අධික ලෙස ධූමපානය අධික ලෙස ආහාර නොගෙන සිටීම.

* සුවදායක නින්දකට ප්‍රතිකාර

පෝෂ්‍යදායි ආහාර ගැනීම මීකිරි, කිරි, ගිතෙල්, සූකිරි, රටඉඳි වැනි ආහාර ගැනීම නිසි ලෙස කායික ව්‍යායාමවල යෙදීම නින්දට පෙර මද උණුසුම් ජලයෙන් දෙපා සේදීම නීල්‍යාදී තෙල, කේතකී තෙල වැනි තෙලක් වෛද්‍ය උපදෙස් මත හිස ගැල්වීමමානසික විවේකය. ඒ සඳහා භාවනාව යෝග්‍ය වේ. විශේෂයෙන් මෛත්‍රී භාවනාව සුවදායක නින්දකට හේතු වෙයි. මෛත්‍රිය වඩන පුද්ගලයා සැපසේ නිදයි. සැපසේ අවදි වෙයි. යනුවෙන් මෙත්තානිසංස සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අනුව යහපත් නින්ද ඔබව රෝගවලින් ආරක්‍ෂාකරයි. එසේම කායික මානසික ශක්තිය වර්ධනය කර ඔබව ක්‍රියාශීලී සුන්දර කෙනෙකු කිරීමට දිනකට ප්‍රමාණවත් නින්දක් අවශ්‍යබව පැහැදිලි වේ.

වෛද්‍ය ඉන්ද්‍රා චන්ද්‍රමාලි

උපුටාගැනීම – අරුණ පුවත්පත

 

Leave a Comment

සබැඳි සටහන්....