ගැබ්බර ලේලියගේ ආරක්ෂකයා නැන්දම්මාය…

by Ravi Gamage

දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බවට යම් සලකුණක් මතුවුවහොත් එය නිවැරදිව සනාථ කර ගැනීමට වෛද්‍යවරයෙක් වෙත ගොස් මුත්‍රා පරික්ෂාවක් කර ගැනීම අද සාමාන්‍ය සිරිතකි. කාන්තාවගේ සිතේ හටගන්නා සැකය නිවැරදිව සනාථ කරනුයේ වෛද්‍යවරයා විසිනි.

එහෙත් අතීතයේ අපේ ජනසමාජයේ දරුවෙක් පිළිසිඳ ගත් බවට යම් කාන්තාවකට සැකයක් මතුවුවහොත් ඒ ගැන ඇය මුලින්ම කීවේ නැන්දම්මාටය. එවැනි සුබ ආරංචි කිවයුත්තේ උදේ වරුවක බව ගම්මු අතර නියමයක් පැවතුණි. ඇගේ ඔසප්වීම නතර වී ඒත් සමගම ශරීරයේ යම් යම් වෙනස්කම් සිදුවීමත් සමග ඇය මේ බව නැන්දම්මාට දැන්වීය. මේ සුබ ආරංචිය නැන්දම්මාට කියූ සැණින් නැන්දම්මා ලේලියගේ හිසට අත තබා ආශිර්වාද කරනු ඇති. ඉන් අනතුරුව මව හා දරුගැබ ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා පත්තිනි පඬුරක් වෙන්කිරීමද නැන්දම්මා අතින්ම සිදුකිරීම එදා පැවති සංසිද්ධියකි. මේ පඬුර දෙහි ඇඹුලින් සෝදා පිරිසුදුකර සුදු රෙදිකඩකින් ගැට ගසා පහන් පැලේ තබා පත්තිනි මෑණියන්ට කන්නලව්වක් කෙරේ. කිසිදු කරදරයකින් තොරව දරුවා ඉපදුණු පසුව දින හතක් ගිය තැන දානයක් දෙන බව ට පත්තිනි මෑණියන්ට පොරොන්දු වන්නේද නැන්දම්මා විසිනි.

නැන්දම්මාගෙන් ලේලියට වටිනා යමක්                                                                                                                                         මෙසේ ලේලියගේ හිසට අත තබා ආශිර්වාදය කරන නැන්දම්මා තමා සතු වටිනා යමක් ලේලිට දීම එදා සිරිතක් ලෙස පැවතිනි. එය නැන්දම්මා සතුව පැවති රන් මාලයක්, වළල්ලක්, තෝඩුදෙකක් , කුඹුරු කෑල්ලක්, ඉඩමක් වගේ දෙයක් විය හැකිය. තම තමන්ගේ වත්පොහොසත්කම අනුව එය තීරණය විය.

තම බිරිඳට දරුවෙකු ලැබීමට සිටින බව ස්වාමියා දැන ගන්නේ තම මවගෙනි. ඇය සුබ වේලාවක් බලා තම පුතාට මේ බව පවසන්නේ ව්‍යංගයෙනි. පුතාට මේ පණිවිඩය මව විසින් දැනුම් දෙන්නේ වගකීම් සහිත බව පෙන්වීමටයි.            “පුතේ දුව කියනවා තවත් කුඹුරක් අස්වද්දන්න වෙයි කියලා”  “ ‘බිස්ස‘ හිස්කරන්න බැහැ කියලා දුව කියනවා”
“බිස්ස” යනු ආහාර පාන සුරක්ෂිතව තබා ඇති ස්ථානයයි. අලුත් සාමාජිකයෙකු පවුලට සම්බන්ධ වන්නේ
නම් “බිස්ස” හිස්නොකර තව තවත් පිරවිය යුතු බව ගම්මු විශ්වාස කළහ. ස්වාමියාට මේ සුබආරංචිය කියූ පසුව නව යුවළ පන්සලට ගොස් මල් පහන් පූජා කර දරුගැබට ආරක්ෂාව ඉල්ලා වැඳුම් පිදුම්කරනු ලැබේ. අනතුරුව නැන්දම්මා ලේලිව කැටුව ගමේ වෙදරාල වෙත යාම සිරිතකි. මේ ගමනද යන්නේ කාටත් හොර රහසේය. බුලත් හුරුල්ලක්වදරාලට දී ලේලියට දරුගැඹක් පිහිටා ඇතිබව නැන්දම්මා මූලිකව කීමද සිරිතකි. එවිට වෙදරාල ලේලියගේ නාඩි පරික්ෂා කර බලා දරුගැබ පිහිටි කාලය නිවැරදිව ප්‍රකාශ කරනු ලැබේ. අනතුරුව අනුගමනය කළ යුතු පිළිවෙත් වෙදරාල විසින් පැහැදිලි කර දී ඇයට සෙත්පැතීමක් කරනු ලැබේ.

ගමේ වෙදරාලගේ තහංචි පැනවීම                                                                                                                                                      උෂ්ණ අධික ආහාර පානවලින් වැළකීම – ඌරුමස්, ඉස්සන් මගුරු මාලු මෝර මාලු වැනි පිළී වර්ග ආහාරයට නොගන්නා ලෙස තහංචියක් පනවනු ලබයි. පළාවර්ග , එළවළු, පළතුරු සඳහා මුල් තැනක් හිමිවේ. තනිපන්ගලමේ ගමන් බිමන් නොයන ලෙස තහංචි පැනවේ. තනියම ගමන් බිමන් යන අතර කුමක් හෝ කරදරයක් වුවහොත් ඒ ගැන කිසිවෙකුත් නොදැන සිටිය හැකිය.

දරුගැඹ දරා සිටින කාලයේදී බර ඔසවාගෙන යෑම තහනම් කෙරේ.- දර මිටි හිසමත තබා ගෙන යෑම , වතුර කළගෙඩි උකුලේ තබාගෙනයෑම, මෝල්ගහ සහ වංගෙඩිය භාවිත කර වී කෙටීම, පිටි කෙටීම , ගැබට මාස තුන සම්පූර්ණ වනතෙක් කුරහන් ගලේ ඇඹරීම සපුරා තහනම් කෙරේ. තොවිල් බැලීම ගර්භණී කාලයේ සපුරා තහනම්ය. තොවිල්ප ළකට හෝ ඇය කැටුව යෑම තහනම්ය. ස්නානය කළ යුත්තේද උදේ වරුවේය. කොණ්ඩය කඩාගෙන දවසේ වැඩි කාලයක් නොසිටින ලෙසට ඇයට තහංචි පනවනු ලැබේ.

දොළදුක්ගාය
ගැඹට මාස තුන සම්පූර්ණ වනවාත් සමග ඇයට දොළදුක දැනේ. ඒ අනුව ඇයට කන්න කැමැති දෑ පවසන්නේ නැන්දම්මාටය. ඇය ආහාර සුරක්ෂිතතාවය මෙන්ම විශ්වාසනීයත්වය දන්නා කාන්තාවකි. මෙහිදී දරුගැබක් දරා සිටින කාන්තාවකට ඇතිවන දොළදුකට කන්න හිතන ඕනෑම දෙයක් ඉල්ලූ විට එය ලබා දීම අනිවාර්යෙන්ම සිදු වූවකි. එම ඉල්ලීම ඉවත දැමීමට කිසිවෙකුත් ක්‍රියා නොකරති. ඇය කන්න කැමැති මොනවාද කියා දැනගත් ගම්මු එය සාදා ඇගේ අතටම ගෙනවිත්දීම සිරිතකි. එහෙත් ඇය එම ආහාරය භුක්ති විඳිනතෙක් බලා නොසිටියහ. ඇයද ඒ ආහාර භුක්ති වින්දේ කාටත් නොපෙනෙන්නටය. දොළදුක සම්බන්ධයෙන් අපේ පැරණි සමාජයේ පැවති සිරිතක් වූයේ ගහක අලුතින් පල හටගත් විට එහි මුල්ම කොටස බුදුන්ට පූජාකර දෙවනි කොටස ගමේ ගැබ්බර මව්වරුන්ට පිරිනැමීමය. ඒ තරමටම එදා ගම්මු ගර්භණී මවකට සැලකුවේය. ගැඹට මාස තුන සම්පූර්ණ වූ පසුව ඇයව ගම්මු හැඳින්වූයේ “ගැබ්බර සිරියාව” යනුවෙනි.

දරුවා ගමට අයිති සම්පතකි
දරුගැබ දරාගෙන සිටින මවකට කුඹුරේ වැඩට යාම තහනම්ය. ඇයට දරට යාම බරවැඩ කිරීම වතුර ඇදීම පිටි කෙටීම වැනි බර වැඩ සපුරා තහනම් කෙරේ. ඒ සියලුම බර වැඩ ගමේ අන් කාන්තාවන් අතින් ඇයට සිදු කර දුන්නේය. ඇගේ කුස තුළ සිටින දරුවා එම නිවසට පමණක් නොව ජනසමාජයටම අයිති වූවකු සේ සැලකීය.

ගර්භ සංරක්ෂණය
ගැබට පළමු මාස තුන පිරුණු පසුව නැන්දම්මා නැවුම් කළගෙඩියක් ගෙන ගෙවත්තේ දෙහි ගහක හෝ පැඟිරි ගහක අතු අතර එම කළ ගෙඩියේ කට බිමට සිටින සේ රඳවනු ලැබේ. මෙය සිදු කරන්නේ හිමිදිරි පාන්දර කපුටන් ඇඬලීමට පෙරය. ගැබ ආරක්ෂා කර ගැනීමට එදා ගම්මු කළ චාරිත්‍රයකි. මෙය ගර්භ සංරක්ෂණය ලෙස හැඳින්විය. ගැබට මාස හත පිරුණු තැන ඊළඟ කළගෙඩිය ද පැඟිරි ගහේ අතු අතර රඳවනු ඇත. මෙසේ තුන්වන කළයද රඳවනුයේ ගැබට මාස නමය සම්පූර්ණ වූ පසුවය. මේ කළ ගෙඩි තුන දෙහි ගහේ හෝ පැඟිරිගහක ආරක්ෂා වෙන අන්දම ගැබදරා සිටින කාන්තාව නිරන්තරයෙන්ම දකිනු ඇත. එවිට ඇය ට තම ගැබද මේ අයුරින්ම ආරක්ෂා වන්නේ යැයි සිත සතුටු කර ගැනේ.

ස්වාමියාව නිදහස් කිරීම
දරුවා ලැබීමට දින දෙක තුනකට කලින් ගම්මු පැමිණ ගැබ්බර මවගේ ස්වාමියාව ගොවිතැන් කටයුතුවලින් නිදහස් කරනු ලබයි. ඔහු විසින් කළ ගොවිතැන් කටයුතු සියල්ල සිදුකරනුයේ ගම්මු විසිනි.
කල්වේලා ඇතිව වින්නඹුමාතාවට ආරාධනා කළයුතු වන්නේද ස්වාමියා විසිනි. ඒ ආරාධනාවත් සමගම ගමේ වෙදරාළට ආරාධනා කරනුයේ දරුවා ඉපදීමට සිටින දිනයේදී නිවසට පැමිණෙන ලෙසටයි. තවද ගමේ වැඩිහිටියන් කීපදෙනෙකුටද ආරාධනා කරණුයේ හදිසි රෝගාබාධයක් ඇති වුවහොත් ඊට අවශ්‍ය ඖෂධ ආදිය සොයා ගැනීමට උදව්වක් ලෙසටය. මෙසේ ආරාධනා ලැබ පැමිණෙන වැඩිහිටියන් හුළුඅතු ආන බැඳගෙන ඒම සිරිතය. රාත්‍රිකාලයේදී ඔසු සෙවීමට සිදු වුවහොත් ඊට සූදානම් වීම කල් වේලා ඇතිව සිදුවීම මෙයින් හෙළිවිය.

කළගෙඩි බිඳීම
දරුවා නිරෝගිව මෙලොව එළිය දුටු පසුව ගෙවත්තේ පැඟිරි ගහේ සංරක්ෂිතව තබා තිබූ කළගෙඩි තුනම ගලක ගසා බිඳීම දරුවාගේ පියාගේ මුල්ම කාර්ය වේ. දරුගැඹ ආරක්ෂා වී ඇති බව මෙයින් පිළිඹිබු කරයි.

උපුටාගැනීම – අරුණ පුවත්පත

Leave a Comment

සබැඳි සටහන්....