පුද්ගල ජීවන රටාව රෝගී නිරෝගී බවට බලපාන්නෙ කොහොමද?

අප ජීවත් වන රටාව ඒ කියන්නෙ ජීවන රටාව අපව රෝගී හා නිරෝගී බව පෙන්වන කදිම සාක්ෂියක්. අපේ ආහාර පාන සිතුම් පැතුම් යන මේ සියල්ලම අපේ රෝගී නිරෝගී බව තීරණය කරන සාධක අතරට එකතුවෙනවා.
ගොඩක් වෙලාවට අප කරන්නෙ රෝගී වූ විට බෙහෙත් ලබා ගැනීමයි. ඒත් බෙහෙත් නොගෙන ලෙඩ රෝගවලින් බේරීමට පුළුවන්. ඒ ගැන කිසිවකුත් නොදන්නා කම තමයි ප්‍රශ්නය වෙන්නෙ. බෙහෙත් ලබාගෙන රෝගයක් සුව කර ගන්නවාට වඩා ලෙඩ නොවී ඉන්න පුළුවන් වීම බොහොම වැදගත්. මොකද ඒ සුවය ලැබෙන්නෙ මුළු ජීවිත කාලයටමයි.
ආහාර සහ පෝෂණය…
පෝෂණ ගුණයෙන් සපිරි සමබල ආහාරයක් ලබා ගැනීම අපේ පෝෂණයට පමණක් නොව නිරෝගී බවටත් හේතුවක්. ඒ අනුව ශරීරයට අත්‍යවශ්‍ය මහා මූලද්‍රව්‍ය වගේම ක්ෂුද්‍ර මූලද්‍රව්‍යයත් සපිරි ආහාර ලබා ගැනීම බෙහෙවින් වැදගත්.
ආහාර වගේම ව්‍යායාම….
ආහාර පාන විතරක් නෙවෙයි, නිසි ව්‍යායාමයත් දෛනිකව ලබා ගැනීම අවශ්‍යම කාරණාවක්. මොකද වියපත් වීමත් සමඟින් වැඩි දෙනෙකුගේ අස්ථි දිරායාමට පටන් ගන්නවා. ඉන් වැළකීමට තමන් ගන්නා ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වනවා සේම අස්ථි ශක්තිමත් වීමට අවශ්‍ය ව්‍යායාමයේ යෙදීමත් වැදගත්. අස්ථි දිරායාම හන්දි රෝගයක් නෙවෙයි. එය අස්ථි මෘදු වීම නිසා සෑදෙන රෝගී තත්ත්වයක්. ව්‍යායාමය වැදගත් වෙන්නෙ එමඟින් අස්ථි ශක්තිමත් වන නිසා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ අස්ථිවල ඝනකම, බර සහ ශක්තිය රඳා පවතින්නේ ශාරීරික ක්‍රියාකාරීත්වය මතයි.
වැඩිහිටියන් අතර අස්ථි දිරායාම වැඩියි…
නමුත් අපේ වැඩිහිටියන් බොහොමයක් දෙනා ඒ පිළිබඳව දන්නේ නැහැ. ඔවුන් අතින් නිසි ව්‍යායාමයක් වෙන්නෙත් නැහැ. එබැවින් නිතරම වැඩිහිටි ප්‍රජාව අතර අස්ථි දිරාපත්වීම සිදුවෙනවා.
මේ සඳහා සිරුරේ බර දරාගත හැකි ව්‍යායාම වගේම සිරුරේ බර නොරදන ව්‍යායාම් යන දෙකොටසම කිරීමට පුළුවන්. අස්ථි දිරායාමෙන් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට ශරීරයේ බර දරාගත හැකි ව්‍යායාම කිරීම අවශ්‍යයි. (මැෂින් මගින් කරන ව්‍යායාම)
බර නොදරන ව්‍යායාම යටතට අයත් වන්නේ පිහිනීම,ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමයි. එමඟින් හෘදය, පෙනහලු සහ මනස ශක්තිමත් කිරීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් අස්ථි සඳහා සිරුරේ බර දරන ව්‍යායාම සුදුසු වුවත්, ඉඳ හිට හෝ ශරීර බර නොරදන ව්‍යායාමත් සිදු කිරීමෙන් අස්ථිවල නිරෝගී භාවය අපේක්ෂා කළ හැක.
ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇතත්, අස්ථි දිරා යාම් පැවතියත් නිතිපතා ව්‍යායාමයේ යෙදීම වැදගත්. එහෙත් එවන් රෝගීන් ව්‍යායාමයට බයයි. එහෙම බියපත් නොවී නිතිපතා ව්‍යායාමයේ යෙදීම, අස්ථි දුර්වල අයට, දෙපා ඉදිමුණු අයට, හදවත් රෝග ඇති අයට අතිශය වැදගත්. හැබැයි ඒ අය කළ යුතු වන්නේ සරල ව්‍යායාම.
                                                                 
ඇද වැටුණොත්….
අස්ථි දිරායාමට ලක්ව සිටින අයෙකු ඇද වැටුණොත් ඒ අයගෙ අස්‍ථි පුපුරන්නට ඉඩ තියෙනවා. කාලයක් තිස්සේ අස්ථි මුදු වීම මෙම තත්ත්වයට හේතු වෙනවා. ඉතින් වියපත් වීමත් එක්ක ඇතිවිය හැකි මෙම අවදානම් තත්ත්වයෙන් හැකි තාක් දුරට ආරක්ෂා වීමට සැලකිලිමත් වීම වැදගත්.
මේ වගේ අවදානමකට ලක්විය හැකි හේතු කාරණා කීපයක් තියෙනවා. ඒ අනුව යමෙක් තමා ඇද වැටේවි යන බියෙන් හෙමින් ඇවිදීම නිසාත් ඇද වැටීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒත් එක්කම වයසත් එක්ක ඇස් පෙනීම අඩු වෙනවා. ශරීරය වාරු නැතිවෙනවා. උස ස්ථානයක දී මේ වයසේ අයට කරකැවිල්ල ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. වයසත් එක්ක එන නින්ද යාමේ අඩුකම නිසා නිතරම නිදිමත ගතියෙන් පසුවීමත් මෙයට බලපෑ හැකි හේතුවක් විදියට දක්වන්න පුළුවන්.
ගොඩක් අය වියපත් වීමත් සමඟින් බෝ නොවන රෝගවලින් පෙලෙන්න ගන්නවා. ඒ සඳහා ලබදෙන ඖෂධ වර්ග නිසාත් ඇද වැටෙන්න පුළුවන්. ඒ වගේම වයසත් එක්ක සමබරතාව අඩු වීමත් මෙවන් ඇද වැටීම්වලට හේතුවක් වෙනවා.
නොවැටි ඉන්න බැරිද?…
ඒ සඳහා කළ යුතු හොඳම දේ වන්නෙ ව්‍යායාම කරන එක. එවිට හදවත, පෙණහලු, මාංශපේෂි මෙන්ම මනසත් ශක්තිමත් වෙනවා. ඒ වගේම නිරන්තරව ව්‍යායාම කරන අයගෙ සිරුරේ සමබරතාව පවත්වාගෙන යාම පහසුයි. එවිට ඒ අය ඇද වැටීමට තිබෙන ඉඩකඩ අඩුයි.
කල්හාරි දසනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here