පියයුරු පිළිකාවක අවදානම ඔබටත් තියෙනවද බලන්න…

ලොව පුරා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාමය තත්ත්වයක් තමයි මේ. ලෝකයේ
පැතිරෙන පිළිකා තත්ත්වයන් අතර අංක එකට පත්වන්නෙත් මෙම පිළිකා තත්ත්වයමයි.
ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට ලංකාවේ එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් හමු
වෙන්නෙ නැහැ. ඒත් මෙරට හමුවන පිළිකා රෝගීන් අතරින් බහුතරයකට  වැළඳෙන්නේ පියයුරු පිළිකාව. එම තත්ත්වය  ප්‍රතිශතයක් විදියට ගත්තොත් එය 20- 25% ත් අතර තමයි පවතින්නේ.
කොහොමත් ඉතින් වයසත් එක්ක පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යනවා. ඒ අනුව වයස අවුරුදු 30 න් පසුව ගතවන සෑම දසකයකටම පිළිකාව ඇතිවීමේ අවදානම දෙගුණයකින් ඉහළ යනවා. ඒ වුණත් කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය නතර වූ පසුව පියයුරු පිළිකා වැළඳීමේ අවදානමේ පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. ඒත් කාන්තාවන් මරණයට පත්වන තුරුම මෙම අවදානමෙන් මිදීමේ හැකියාවක් තිබෙන බව නම් පෙනෙන්න නැහැ.

අවදානමෙන් මිදෙන්නෙ කොහොමද?…

මෙම තත්ත්වයෙන් මිදෙන්න නම්  මොකක්ද අප කළ යුතු කියලා ඔබට සිතෙන්න පුළුවන්. එහෙම වෙන්න නම්  මේ පිළිකාමය තත්ත්වය මුල් අවස්ථාවේදී ම හඳුනාගන්නට ඕනේ.
හඳුනාගන්නෙ කොහොමද?..
ලොව පිළිගත් ක්‍රමවේද දෙකක් යටතේ මෙම පිළිකා තත්ත්වය හඳුනාගන්න පුළුවන්.
ඉන් එක් ක්‍රමවේදයක් බවට පත්වන්නේ පියයුරු පිළිකා නිසා හටගන්නා රෝග ලක්ෂණ හඳුනාගැනීම. අනෙක් ක්‍රමවේදය වන්නේ පියයුරු පිළිකාවක් තිබේදැයි කරනු ලබන පරීක්ෂණ. (මැමෝග්‍රැම් පරීක්ෂණය) ඒ අනුව නිරෝගී කාන්තාවන් අතර මෙම හඳුනාගැනීමේ පරීක්ෂණය සිදුකිරීමෙන් රෝගය ඇත්නම් මූලික අවස්ථාවේම හඳුනාගන්න පුළුවන්.

අපේ රටේ පරීක්ෂණ ප්‍රමාණවත් ද?..

යුරෝපීය රටවල බොහෝ වෙලාවට කරන්නෙ මැමෝග්‍රැම් පරීක්ෂණය මඟින් මෙවන් තත්ත්වයන් කලින්ම හඳුනාගැනීමයි. නමුත් ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල මෙම ක්‍රමවේදය තවමත් ප්‍රචලිත නැහැ. ඒ අනුව දකුණු ආසියාතික රටවල අපට සිදුවෙන්නෙ පියයුරු පිළිකා රෝග ලක්ෂණ මතුවූ පසුව හඳුනාගැනීමට. බොහෝ වෙලාවට පියයුරු පිළිකා රෝගීන්ගේ අවදානම වැඩි වෙන්නෙ මුල් අවස්ථාවේ රෝගය හඳුනා නොගැනීම නිසයි. කොහොමත්
 අප රට තුළ තවමත් පරීක්ෂණ කිරීම් ප්‍රාථමික මට්ටමේ පැවතීම තුළ රෝගය හඳුනාගැනීම ප්‍රමාද වෙනවා. එය රෝගී ජීවිත අවදානමට ඇද දැමීමට හේතුවක්.
ප්‍රතිකාරයට බයයි….
 පියයුරු පිළිකාවක් යැයි හඳුනාගත් පසුවත් ඒ සම්බන්ධයෙන් රෝග ලක්ෂණ මතුවූ පසුවත් ඇතැම් අය බිය නිසා ප්‍රතිකාරයට යොමුවන්නේ නැහැ. එය එතරම් හොඳ දෙයක්  නෙවෙයි. මොකද මුලදීම හඳුනාගැනීමෙන් රෝගයේ අවදානමෙන් මිදිලා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා නිසි ප්‍රතිකාර කළොත් ජීවිත අවදානම අඩු කර ගන්න පුළුවන්.

අවදානම් සාධක මොනවාද?

කාන්තාවක් වීමම අවදානමක්. මොකද පියයුරු පිළිකාව 99% ක්ම වැළඳෙන්නෙ කාන්තාවන්ට. පිරිමින්ට වැළඳීමට ඇති අවදානම 1% යි.
ඒ වගේම ප්‍රථම දරුවා අවුරුදු 30 න් පසුව බිහිවීමත් අවදානම්. දරුවන් බිහි කළත් ඒ අයට මව් කිරි නොදීම හෝ දීමට නොහැකි වීම මෙම අවදානම වැඩිකිරීමට හේතුවක්. කොහොමත් දරුවන් ලැබී නැත්නම් එම අවදානම බොහෝ සේ ඉහළ දමනවා.

ජානමය හේතු නිසා…

ඇතැම් වෙලාවට මේ සඳහා ජානමය හේතූන් බලපෑම් කරනවා. එම තත්ත්වය සමස්තයක් වශයෙන් ගත් විට 5% කටත් අඩුයි.  ඒ සඳහා බලපෑම් කරන VRCA  1 , VRCA  2 කියන ජාන වර්ග දෙක පවුල් ඉතිහාසය තුළ පැවතියේ ද යන්න සොයාබලන්නට වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 40 ට අඩු වයසකදි  මව, පියා හෝ සමීප ඥාතීන්ට  පිළිකාවක් වැළඳී ඇත්නම් එවන් අයට අවදානම වැඩි වෙන්න ඉඩකඩ වැඩියි.
මේ දේවල් වගේම ව්‍යායාමය අඩු කම, තෙල් අධික ආහාර රටාවකට හුරුව සිටීම, සීනි අධික ආහාර පාන ගැනීම, දුම් බීම, අක්‍රීය දුම් පානයට ගොදුරු වීම මෙම අවදානම වැඩි කිරීමට තුඩු දෙන හේතු බවට පත්වෙනවා.

                           

හඳුනාගත හැකි ලක්ෂණ …

පියයුරේ ඇතිවන ඕනෑම වෙනස්කමක් පිළිකාවක් නිසාවෙන් ඇති වූවක් වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණ මඟින් එම තත්ත්වය පිළිකාවක් නෙවෙයි කියා තහවුරු කරනා තුරු එය පිළිකාවක් විය හැකිය යන කරුණ මත පිහිටා කටයුතු කිරීමයි වැදගත්. එවිට එහි අවදානමක් තිබුණත් ඉක්මනින් හඳුනාගැනීම පහසුයි.

සාමාන්‍යයෙන් පියයුරේ වේදනාවක්, ගැටිත්තක්, ප්‍රමාණයේ හෝ හැඩයේ වෙනසක්, සමේ වෙනසක්, තන පුඩුව ඇතුළට නෙරා යාමක්, ස්‍රාවයක් පිටවීමක් ආදිය දක්නට පුළුවන්.

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වෙනස් වීමේදී  ප්‍රතිචාර දක්වන එක් ක්‍රමයක් විදියට පියයුරේ වේදනාව ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාව ඇතිවන 8%- 10%  ක් වගේ අය තුළ සැඟවුණු වෙනස්කම් තියෙන්නට පුළුවන්. ඉතින් එවන් වේදනාවක් දැනුනොත් මැමෝග්‍රැම් පරීක්ෂාව, අල්‍ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව කර ගැනීම අවශ්‍යයි.

හැම ගැටිත්තක්ම පිළිකාවක්  ද?

පියයුරුවල ඕනෙම තැනෙක මේ පිළිකාමය තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තන පුඩුව ආශ්‍රිතව ඇතිවන ඒවා හඳුනාගන්න අපහසු වීමට පුළුවන්. ඒ වගේම මේ විදියට ඇතිවන සියලුම ගැටිති  වේදනා පිළිකා නොවෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් වෛද්‍ය පරීක්ෂණයට අමතරව කටු පරීක්ෂණයක් මඟින් ඒ බැව් තහවුරු කර ගැනීම කළ යුතුයි.

බොහෝ වෙලාවට තන පුඩුවෙන් ගලන ස්‍රාවය පිළිකාවක් ඇති බවට ඉඟියක්. මේ ස්‍රාවයන් බොහෝ වෙලාවට ඇතිවන්නේ ඉබේමයි. අතින් මිරිකා බැලීමකින් තොරව මෙවන් ස්‍රාවයක් ඇතිවෙනවා නම් ඒ බොහෝ දුරට පිළිකාවක ලකුණක්.

මේ ස්‍රාවයන් සුදු හෝ කහ පැහැති වීම සාමාන්‍යයි. හැබැයි කලාතුරකින් රතු රුධිරානු සහිතව ලේ පාටට ස්‍රාවය වෙන්න පුළුවන්. ඒ වගේම පියයුරු දෙකෙන්ම එම ස්‍රාවය ඇති නොවී එක් පියයුරකින් පමණක් ස්‍රාවය වෙනවා එය බොහෝ දුරට පිළිකාවක ලක්ෂණයක්. එවන් මොහොතක තව දුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම අතිශය වැදගත්.

පුෂ්පා අතාවුද හෙට්ටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here