තරුණ ජවය නිසි මඟ ගෙනියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

 

දරුවෝ කියන්නේ රටේ ජීවනාලිය. ඒ වගේම තමයි තරුණයින් කියන්නේ රටේ කොඳු නාරටිය. අපි හැම නිතරම කතාකරන්නේ රටේ දරුවන්ට හොඳම දේ ලබා දීම වෙනුවෙනුයි. හැබැයි රටේ තරුණයා යම් අවස්ථාවකදි අපි හැමෝටම සුළු සුළු වශයෙන් මඟහැරුණා. මේ මඟහැරීම්වල ප්‍රථිඵලයක් විදිහට එක එක කාලවලදි විවිධ කලකෝලහාල පවා ඇතිවුණා. අපි රටේ දරුවන්ට හොඳම දේ හැම වෙලාවෙදිම ලබා දෙනවා වගේම රටේ තරුණයාත් ඒ විදිහට රැක බලා ගන්නවා නම් ඒක රටට සිදුකරන ලොකු මෙහෙවරක්. අපි කවුරු කොහොම කිව්වත් රටේ වැඩිහිටි පරම්පරාවේ සෑම දෙනාටම රටේ තරුණයා ගැන ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම රාජ්‍ය වගේම පුද්ගලික ආයතන විවිධ මට්ටම්වලින් දරමින් ඉන්නවා. මේ වගකීම ගත්තු රජයේ පාර්ශවයේ සුවිශේෂීම ආයතනයක් තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. මේ වෙද්දි රටේ රැකියා නියුක්තිකයින්ගන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රීලංකා යුද්ධ හමුදාවට අයත්. හැබැයි ලංකාවේ අනිත් රැකියා නියුක්තිකයින් එක්ක සන්සන්දනය කරලා බලද්දි යුද්ධ හමුදාවේ සේවය නිරත වෙලා ඉන්න පිරිස සුවිශේෂීයි. මොකද ඒ තමයි රටේ ඉන්න පුහුණුවලත් විනයගරුක විශාලතම ශ්‍රම බලකාය තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව.

ගංවතුරකදි, නායයාමකදි, එහෙමත් නැත්නම් මොකක්ම හරි ආපදාවකදි යුද්ධ හමුදාව පෙරට එන්න ඒ ඔවුන් සතු පුහුණුව සහ විනය නිසයි. හොඳම උදාහරණය කොවිඩ්. නිරෝධායන මධ්‍යස්ථාන හදන තැන ඉඳන්ම කොවිඩ් පැතිරිීම පාලනය කරන්න ගත්ත හැම ක්‍රියාමාර්ගයකදිම පෙරමුණ ගත්තේ යුද්ධ හමුදාව. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. දැන් බලන්න ගම සමඟ පිළිසඳර වැඩසටහනේදි ජනාධිපතිතුමා යුද්ධ හමුදාවට කොයිතරම් ව්‍යාපෘති භාර දෙනවාද? කොළඹ තුරඟ තරඟ පිටිය, ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් පරිශ්‍රය, දියක උයන, නෙළුම් පොකුණ, නෙළුම් කුලුන ආදී ඉදිකිරීම් රැසකට ශ්‍රම දායකත්වය ලබාදෙන්නට තරම් නිපුණත්වයකින් පිරි ශ්‍රම බළකායක් යුද්ධ හමුදාව සතුය. මේ පුහුණු විනය ගරුක ශ්‍රම බළකාය නිර්මාණය කිරීම පහසු වැඩක් නම් නෙව්.

දිවයින පුරා විසිරුණ යුද්ධ හමුදා කඳවුරුවලට සම්මුඛ සාකච්ඡාවලට පැමිණෙන තරුණ තරුණියන් මූලික පරීක්ෂණවලින් පස්සේ තෝරාගන්නා තරුණ තරුණියන් ඒ ඒ පුහුණු මධ්‍යස්ථානවල ධාරිතාවය අනුව වෙන් කරනවා. එහෙම වෙන්කරන තරුණ තරුණියෝ තමා මේ පුහුණු පාසැල්වලට එන්නේ. මේ අය විවිධ අධ්‍යාපනික මට්ටම්වල අය. මොකද යුද්ධ හමුදාවට සාමාන්‍ය සෙබළුන් බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම වෙන්නේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීම විතරයි. මේ විදිහෙ විවිධ සමාජ මට්ටම්වල, විවිධ අධ්‍යාපන මට්ටම්වල, විවිධ ජාති ආගම්වල පිරිස් එක ඉලක්කයකට යොමු කරන එකත් එක්තරා යුද්ධයක් තමා ඉතින්. යුද්ධ හමුදාවට අලුතින් බඳවාගන්න තරුණ පිරිස් පුහුණ කරන පුහුණු පාසැල් අතරින් පුත්තලම ආධුනික පුහුණු පාසැලේදි මේ ආධුනින පුහුණුව සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලාගන්න අවස්ථාවක් අපිට ලැබුණා.

මේ අයගේ සියලු වැඩ සටහන් සිද්ධ වෙන්නේ කාලසටහනට අනුව. ඒ කාලසටහනේ විදිහට නම් දවසේ වැඩ ප‌ටන් ගන්න තියෙන්නේ උදේ හයයි කාලට. සාමාන්‍යයෙන් ශාරීරික අභ්‍යාස, ලොග් ව්‍යායාම (දැව කඳන් යොදාගනිමින් සිදුකරන ව්‍යායාම) , ටී 56 අවි ප්‍රායෝගික පරීක්ෂණ, ගිනි අවි සමඟ කරන ව්‍යායාම වගේම යුද බාධක තරණය කිරීමත් උදේම මේ අයට කරන්න වෙනවා. ඊට පස්සේ තමයි උදේ ආහාරය ලබා ගන්නේ. ඊට පස්සේ දවස පුරා පරීක්ෂණ පෙළපාලි, මුර ආරෝහණය සහ අවරෝහණය, ආවරණ භාවිතය, මාර්ග සරඹ, ගමනේදි අවි සරඹ, අවිය සහිතව සහ රහිතව යුද බිමේ ගමන් කිරීම වගේ විශාල වපසරියක පැතිරුණු විෂය නිර්දේශයක් යටතේ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික පුහුණුව නොඅඩුව හිමිවෙනවා.

ඒ විතරක් නෙවෙයි මේ අයට සමාජමය දැනුම ලබාදෙමින් නවීන ලෝකය සමඟ යාවත්කාලීන කරන වැඩපිළිවෙළක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරන්න කියලා පුහුණු පාසැල් සේනාවිධායකවරුන්ට දැනුම් දීලා තියෙනවලු. මොකද යුද්ධයක් ක්‍රියාත්මක නොවෙන අවස්ථාවක යුද්ධ හමුදාවට තමන්ගේ ප්‍රාථමික රාජකාරි අතරතුර ද්විතීය රාජකාරිවලත් නිරත වෙන්න තියෙන නිසා යුද්ධ හමුදාවට ආධුනික සොල්දාදුවන් විදිහට එකතුවෙන සියලුම දෙනා සමාජීය දැනුමෙන් සහ තාක්ෂණික දැනුමෙන් යාවත්කාලීන කිරීම දැඩි අවශ්‍යතාවයක් කියන දේ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරලා තියෙනවා. වර්තමාන යුද්ධ හමුදාධිපතිතුමා මේ ආධුනික පුහුණු මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට, පුහුණු ආධාර ඉහළනැංවීමට වගේම උපදේශකයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ගැනත් සුවිශේෂී අවධානයක් යොමු කරලා කටයුතු කරන නිසා පුහුණුවෙන් පස්සේ විසිර යන ආධුනික සොල්දාදුවා ඉතා ඉහළ දැනුමක් සහ ගුණාත්මකභාවයක් සහිත අයෙක් බව‌ට නිරායාසයෙන්ම පත්වෙනවා. ‍ආධුනික සෙබළෙක් මාස හයක මූලික පුහුණුව ලබාදීලා විසිරයාම දක්වා යුද්ධ හමුදාවෙන් විශාල මුදලක් වියදම් කරනවා. ඒ විදිහට වියදම් කරන්නේ උසස් වෘත්තීමයභාවයකින් යුතු සොල්දාදුවෙන් නිර්මාණය කිරීම වෙනුවෙන්මයි.

මේ වෙද්දි රටට බලපාලා තියෙන කොවිඩ් උවදුර නිසා විශාල තරුණ පිරිසකට තමන් කරපු රැකියාව අහිමි වෙලා තියෙනවා. ඒ විදිහට රැකියාව අහිමිවුණු විශාල පිරිසක් මේ වෙනකොට යුද්ධ හමුදාවට බැඳිලා තියෙනවා ආධුනිකයින් විදිහට‍. ඒ පිරිස අතර ප්‍රසිද්ධ හෝටල්වල සේවය කළ සූපවේදීන්, විවිධ ආයතනවල පරිගනක ක්‍රියාකරුවන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් කියන්නේ තමන් මීට කලින් රැකියා කළත් මීට වඩා වේතනයක් ලබා ගත්තත් යුද්ධ හමුදාවේ පුහුණුව ඒ හැමදේටම වඩා වැදගත් කියලයි. මොකද තමන්ට තිබුණු නිදහස මේ පුහුණුව නිසා සීමා උණත් ලැබෙන වෘත්තීයමයභාවය ඊට වඩා වැදගත් කියලා ඔවුන්ට මේ පුහුණුව නිසා දැනෙනවා කියන දේ තමයි ඔවුන් අපි සමඟ කිව්වේ.

මේ විදිහට පුහුණුවෙලා යුද්ධ හමුදා සක්‍රිය සේවයට එක්වෙන ආධුනික සෙබළකුට ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශයේ පැවැත්වෙන කනිෂ්ඨ නායකත්ව පාඨමාලාවට, ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රති ත්‍රස්තවාදී ක්‍රම පාඨමාලාව, පැරෂුට් පාඨමාලාව, ක්ෂේත්‍ර බුද්ධි පාඨමාලාව, සංඥා ක්‍රියාකරු පාඨමාලාව, ආරක්ෂක පරිපාලන පාඨමාලාව, ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාව, බළඇණි ආධාරක අවි පාඨමාලාවත, කාලතුවක්කු උපදේශක පාඨමාලාව, ඉන්දියාවේ සහ පකිස්ථානයේ පැවැත්වෙන බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ පාබල උසස් පාඨමාලාව, එංගලන්තයේ පැවැත්වෙන සරඹ උපදේශක පාඨමාලාව වගේ විශේෂ පාඨමාලා හදාරන්නත් දේශීය වශයෙන් ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පාඨමාලාව, පැරෂූට් පාඨමාලාව ඇතුළු පාඨමාලා විශෘල ප්‍රමාණයකට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා මාලි, සුඩාන්, ලෙබනන් වැනි රටවල සේවය කරන්නත් අවස්ථාව ලැබෙනවා.

යුද්ධ හමුදාවට එක්වන සියලුම දෙනා විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා. ඒවගේම වාර්ෂික වැටුප් වර්ධක, නොමිලේ වෛද්‍ය පහසුකම් (බිරිඳ, දරුවන් සහ දෙමාපියන්ද ඇතුළත්ව) නිල ඇඳුම් හා ආහාරපාන, ණය පහසුකම්, සුබසාධක දිමනා සහ පහසුකම්, විවාහක නිවාස පහසුකම්, නිදහස් රාජකාරී නිවාඩු ගමන් බලපත්‍ර ආදී සුබසාධක වරප්‍රසාද සහ පහසුකම් රැසකුත් හිමිවෙනවා. මේ තත්වයත් එක්ක රටේ තරුණයෝ යුද්ධ හමුදාවට බැඳෙන්න විශාල උනන්දුවකින් කටයුතු කරන බව පෙනෙන්න තියෙනවා.

ඒ තමයි වෘත්තීමයභාවයෙන් සන්නද්ධ වෙලා රට ගොඩනැඟිමේ මෙහෙවරට දායක වෙන්න මේ වෙද්දි යුද්ධ හමුදාවට බැඳිලා පුහුණුව ලබන ජවසම්පන්න තාරුණ්‍යයේ ඇත්ත කතාව. අපේ රටේ ඉන්න ජවසම්පන්න තරුණයින්ට තවමත් අවස්ථාව තියෙනවා යුද්ධ හමුදාව එක්ක එකතු වෙලා අභිමානවත් සේවයක් රට වෙනුවෙන් කරන්න. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්න සූදානම්.

දිලංක ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here