නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහි කරනවා – ජනපති

by Ravi Gamage

නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් “සුහුරු තාක්ෂණවේදීන් ” ( Smart Technocrats) නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව එතුමා පෙන්වා දෙයි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ආරඹීමේ ඇති අවශ්‍යතාව එතුමා අවධාරණය කළේය.

එසේම ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා කලා විෂයන්, හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි යැයි ද සඳහන් කළේය.

විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතයට ගැළපෙන පරිදි හඳුන්වාදීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

 

Leave a Comment

සබැඳි සටහන්....