දණහිස් වේදනාව ඉවසගන්නම බෑ නේද?

by Ravi Gamage

දණහිස් වේදනාව නිසා ගොඩක් අයගෙ දෛනික කටයුතු අඩාල වෙනවා. වැඩියෙන්ම මේ වගේ පීඩාවට පත්වන්නෙ කාන්තාවන්. එයට බලපාන හේතු බොහොමයක් තියෙනවා.

අධික තරබාරුව, බොහෝ වේලාවක් හිටගෙන වැඩ කටයුතු කිරීම, ව්‍යායාම අඩුකම ආදී හේතූන් මෙම තත්ත්වයට ප්‍රබල ලෙස බලපෑම් කරනවා. ඇත්තටම ශරීරයේ බර උසුලාගෙන ඉන්න කොට ඒ බර බලපාන්නෙ දණහිස් සන්ධිවලට. ඉතින් සිරුරේ බර අනවශ්‍ය විදියට වැඩියි නම් ඒ අයට දණහිස් වේදනා ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

දන්නවද දණහිස් සන්ධිය ලෙහෙසියෙන්ම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වන බව. සාමාන්‍යයෙන් මෙම රෝගය ඇති වෙන්නෙ නම් මැදිවියේ පසුවන අයට. ඒත් තරුණ වයසේ ඉන්න අයෙකුටත් මේ විදියට දණහිස් වේදනා ඇතිවෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ මොනවාද?
සන්ධිය වේදනාවත් එක්කම ඉදිමීමක් දක්නට ලැබෙනවා. ඇවිදින කොට, පඩිපෙළ නඟින විට, වාඩිවී සිට නැඟිටීමේ දී මේ වේදනාව බෙහෙවින් වැඩි වෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් සිද්ධවෙන්නෙ ක්‍රියාකාරකම් අඩුවෙන කොට සන්ධිය වටා තිබෙන මස් පිඬු දුර්වල වෙන එක. කාලයක් යනකොට මේ මස් පිඬු සිහින් වෙලා ගෙවී යාමකට ලක් වෙනවා. මේ ආකාරයට මස් පිඬු දුර්වල වෙනකොට එම තැනැත්තා සිටගෙන ඉන්න කොට සන්ධියේ තිබෙන මෘදු පටක කරා ශරීරයේ බර අවතීර්ණ වෙනවා. එහෙම වුණාම ඒ පටකත් ඛාදනයට ලක්වෙනවා. එහෙම වුණාම සන්ධිය අස්ථාවර වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් නොසලකා හැරියොත් එහෙම ඇවිදගන්නම බැරි වෙනවා.

අවදානම් අවස්ථා…
සමහර අයගේ දණහිස් සන්ධිය පිහිටා තිබෙන්නෙ පිටතට වක්‍රාකාර වන විදියට. සාමාන්‍ය ව්‍යවහාරයේ බකල යයි කියන්නෙ මෙම තත්ත්වයට. බොහෝ වෙලාවට දණහිස් දෙක එකට ගැටෙන විදියට ඇතුළු පැත්තට නැවී පිහිටනවා.

තව සමහරෙකුගෙ පාදවල දිග වෙනස්. ඒ කියන්නෙ එක් පාදයක් කෙටි වෙන්න පුළුවන්. එහෙම වුණාම ශරීරයේ බර දරාගන්න සිද්ධවෙන්නෙ අනෙක් පාදයට. ඒ වගේම පාදයට හදිසියේ සිදුවන අනතුරුත් මේ තත්ත්වයට බලපානවා.

ගොඩක් අය හිතනවා එදිනෙදා ගෙදර දොර කටයුතු කළාම ඒ ප්‍රමාණවත් කියලා. ඒත් අපි එහෙම වැඩ කළා කියලා ඇවිද්දා කියලා පාදයේ මාංශපේෂි ශක්තිමත් වෙන්නෙ නැහැ. එහෙම ශක්තිමත් වෙන්න නම් ඒ සඳහා ව්‍යායාම කරන්න වෙනවා. ඇඟ මහන්සි නොකරන තරබාරු අයෙක් නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න වෙනවා.

දණහිස් ඇටය විසන්ධි වීම …
සමහර අයගෙ දණහිස් ඇටය විසන්ධි වෙන්න පුළුවන්. හදිසි නැවීමකදී නැත්නම් නර්තනයේදී මේ වගේ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නෙ දණහිස් සන්ධිය වටා තිබෙන මාංශපේෂි දුර්වල වුණාම. එම තත්ත්වය නොසලකා හරින්න හොඳ දෙයක් නෙවෙයි. මොකද එය යතා තත්ත්වයට යන්න සැත්කමක් කරන්න පවා සිදුවෙන්න පුළුවන්.

ආබාධ වළක්වා ගන්නෙ කොහොමද?
ශරීරයේ බර අඩු කර ගන්න වෙනවා. වැඩියෙන් සිටගෙන ඉන්න එක, පඩි පෙළ නඟින එක හොඳ නැහැ. ඒ වගේම මාංශපේෂි ශක්තිමත් කරන ව්‍යායාමයේ යෙදීම අවශ්‍යයි.

ඒ සඳහා සරල ව්‍යායාම කිහිපයක් කියන්නම්.

  1. පාද දිග හැර බිම වාඩිවෙන්න. දණහිස යටින් අඟල් 4ක් වගේ උසට සිටින සේ තුවායක් නවා රෝල් කර තබන්න. දණහිසෙන් පහළ තුවායට තද කරමින් තත්පර 5 ක් ඉන්න. ලිහිල් කරන්න. මේ ආකාරයට වාර 25 ක් කරන්න.

  2. උඩු අතට බිම දිගා වෙලා වළලුකර උඩ කිලෝග්‍රෑම් එකක බරක් තබා අඩි එක හමාරක් වගේ උඩට ඔසවා තත්ත්පර 5 ක් තබාගන්න. පහත් කරන්න. මේ ආකාරයට වාර 15 ක් කරන්න.

  3. පාද බිම නොගෑවෙන විදියට උඩක වාඩිවෙලා වළලුකර මත කිලෝග්‍රෑම් එකක බරක් තබාගෙන පාදය දිග හැර තත්ත්පර 5 ක් තබාගන්න. පහත් කරන්න. ඒ ආකාරයට වාර 10 ක් කරන්න

  4. මුනින් අතට දිගාවෙලා කකුලේ ඇඟිලි පොළොවට ගසා දණහිස උඩට ඔසවන්න. වාර 15 ක් එය කරන්න.

  5. බිම හිටගෙන පාදවල ඇඟිලිවලින් සිටගන්න. එයත් වාර 15 ක් කරන්න.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....