හැඩ වෙන්න හිතාගෙන හයි හීල්ස් දැම්මොත් ප්‍රතිඵලය බයානකයි …

by Ravi Gamage

යුවතියක වුණාම හැඩට ඉන්න බොහොම කැමැතියි. ඉතින් ගොඩක් අය හැඩවෙන්න හිතාගෙන අඩි උස පාවහන් භාවිත කරන්නට පෙළඹෙනවා. බලන්නකො අපේ සමහර යුවතියන් පාවිච්චි කරන පාවහන් මොනතරම් උසයිද කියලා.  සමහර අය අඟල් 2 – 3 ක් උස සිහින් අඩි සහිත සපත්තු දමනවා. තවත් කෙනෙක් ප්ලැට් අඩිය සහිත සපත්තු පලඳින අතර තවත් කෙනකුගේ තෝරා ගැනීම වන්නේ වෙජ් හීල් ආකාරයේ සපත්තු. මෙසේ විවිධ ආකාරයේ උස අඩි සහිත පාවහන් තෝරා ගන්න එක් එක්කෙනාට එක එක හේතු තියෙනවා.

අධික උස අඩි සපත්තු භාවිතයෙන් මොකද වෙන්නෙ?..
අද හැමෝම වගේ ගතකරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඉතින් ඒ ජීවන රටාව හරිම කළබලයි. ගමන බිමන වේගවත්. ඉතින් ඒ  සීග්‍රගාමී ගමනට උස අඩි සහිත පාවහන් අවහිරයක්. පාසලට, රැකියා ස්ථානයට, බස් නැවතුම්පොළට දුම්රිය පොළට වේගයෙන් දුවද්දී යන්තමින් හෝ කකුල පැටළුණොත් සිදුවන හානිය බරපතළයි. එහෙම වුණාම  සමහර වෙලාවට  සති කිහිපයක් හෝ මාස කිහිපයක් රෝහලේ නවතින්නට තරම් හානියක් වෙන්නත් බැරි නැහැ.
කොඳු ඇට පෙළට හානි වැඩියි….
ඒ විතරක් නෙවෙයි මේ විදියට  දීර්ඝකාලීනව මෙවැනි පාවහන් පැලඳිම නිසා ශාරීරික වශයෙන් සිදුවන හානියත් සුළුපටු එකක් නෙවෙයි. මොකද අසමතුලිත ලෙස දිගු කාලයක් කකුලට  දැනෙන ශරීර බර කෙළින්ම බලපෑම් කරන්නේ කොඳුඇට පෙළට.
 ඉතින්  දවස ගානෙම මේ වගේ අඩි උස පාවහන් පැළඳගෙන  තමන් තමන්ටම  සිදුකර ගන්නා හානියේ බරපතළකම හඳුනාගන්නෙ නැහැ. ඒ ගැන වැඩියෙන් හිතුවෙ නැති වුණාට  එමඟින් පසුකාලීනව කොඳු ඇට පෙළේ ආබාධ, උකුල් සන්ධියේ ආබාධ, පාදවල මස්පිඬු ආශ්‍රිත වේදනා, දණහිස් ආබාධ, ඇඟිලිවල වේදනා ඇතිවීමට වැඩි ඉඩක් තියෙනවා.
ස්නායු තෙරපීමක්…
මේ විදියට උස් අඩි පාවහන් නිසා ශරීරයේ ඇතිවන අසමතුලිතතාව කශේරුකාවලට කරන බලපෑම නිසා කශේරුකා දෙකක් අතර තිබෙන කශේරුකා බිම්බ නම් ව්‍යූහයටත් බලපෑම් ඇතිකරනවා. ඇත්තටම මේ කශේරුකා බිම්බ පිහිටා තිබෙන්නේ කශේරුකාවලට ඇතිවන ගැස්සීම් පාලනය කරන්නට. ඒත් මේ අනවශ්‍ය තේරීම් නිසා කශේරුකා බිම්බ කෙරෙහි වන බලපෑම දීර්ඝකාලීනව සිදුවුණොත් වෙන්නෙ කශේරුකා බිම්බ ක්‍රමයෙන් තුනී වෙලා  ස්නායු තෙරපීමක් සිදුවන එක. එය පසුකාලීනව ස්නායු ආබාධ ඇතිවෙන්නටත් හේතුවක්.  ඒ විතරක් නම් නෙවෙයි,  මේ  අසමතුලිතතාව කකුලේ ඇඟිලි හා පතුල කෙරෙහි ලොකු බලපෑමක් ඇතිකරනවා. එනිසා  එම ස්ථානවල වේදනා වගේම නොයෙකුත්  ආබාධ ඇතිවෙන්න පුළුවන්.
අඩි උස දාගෙන කළබලයට වැඩ බෑ…
කොහොමත් අඩි උස සපත්තු දාගෙන  ඉක්මනින් ඇවිදින කොට  කකුල පෙරළෙනවා. උළුක්කුවීම් වෙනවා.  ඒ හේතුවෙන් අපට ඇවිදින්න වෙන්නෙ කොර ගසමින්.  එහෙම ඇවිදීම නිසා කකුලේ පිටුපස මාංස පේශිවල වේදනා ඇතිවෙන්න ගන්නවා.  එම තත්ත්වය පසුකාලීනව බලපානවා. ඒ අනුව ගර්භණී කාන්තාවක් වූ පසුව ප්‍රසවයේදී අවදානමක් ඇතිවෙන්නත් එම තත්ත්වය හේතුවක්.
උසින් අඩු පාවහන් අතුරු ආබාධ නෑ…
උසින් අඩු අඩි සහිත පාවහන්
මෙවැනි පාවහන් ලොකු, පොඩි කිසිවකුට අතුරු ආබාධයක් ඇති වෙන්නෙ නැහැ. මේවා පැලඳීමේ දී ශරීරයේ බර සමතුලිත ලෙස පාද කරා බෙදී යන නිසා කොන්දට හෝ කශේරුකා කෙරෙහි බලපෑම් ඇති කරන්නෙත් නැහැ. සාමාන්‍යයෙන්  පැතැලි අඩි සහිත පාවහන් පැලඳ ඇවිදීමේදී යටිපතුලේ ඇති නිල ස්ථාන හොඳින් සම්බාහනය වෙනවා.  ඒ නිල ස්ථාන තෙරපීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කෙරෙහි උත්තේජනයක් ඇති කෙරෙනවා. එනිසා ඒවා හොඳින් ක්‍රියාත්මකව දෛනික ජීවිතය සැහැල්ලු ලෙස ගතකිරීමට උපකාරී වෙනවා.
වෙජ් හීල් එතරම් හානිකර නැහැ …

 ගොඩක් අය  දැන් දැන් වෙජ් හීල් සහිත පාවහන් භාවිතයට පෙළඹිලා. ඒවායේ සපත්තු  අඩිය උස්වී ඇති ආකාරයටම ඉදිරිපස ද උස්ව සැකසී ඇති අඩියක් සහිතයි. ඒ  පාවහන් භාවිතය ද ශරීරයට එතරම් අපහසුතා ඇති කරන්නෙ නැහැ. මේවායේ අඩිය උස් නමුත්  සැහැල්ලුයි. පොළවට සමාන්තරව අඩිය තබන්න පුළුවන්. ඒ හින්දා  එම සපත්තු  භාවිතයෙන් අපහසුතාවක් හෝ දැඩි හානියක් වෙන්නේ නැහැ.
අධික උස අඩි සහිත පාවහන් පළඳින අයට වයස් ගතවීමත් සමඟ ඇතිවෙන කොන්දේ අමාරු, දණහිස් ආබාධ, තුනටියේ අමාරු, කොන්ද කුදුවීම, ඇවිදීමේ අපහසුතා ආදිය අත්විඳින්නට වෙනවා. එහෙම නම් මොකද කරන්න ඕනෙ. කුඩා අවධියේ සිටම උස් අඩි පාවහන් භාවිතයෙන් වැළකී උසින් අඩු අඩි සහිත පාවහන් භාවිතයට හුරුවෙන එක.
කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....