ඔබත් සමේ රෝගයකින් පීඩා විඳිනවාද?

by Ravi Gamage

සමේ ඇති වන රෝගයක් ‍එහෙමත් නැත්නම් යම් කිසි වෙනසක් සමේ රෝගයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අය එක් එක් විදියේ සමේ රෝග නිසා පීඩා විඳිනවා. ඒ රෝග පිළිබඳව නිවැරැදි වැටහීමක් නොමැති නිසාවෙන් බොහොමත් අය කාලාන්තරයක් එම රෝග තත්ත්වයන් නිසා පීඩා විඳිනවා.

හැම සමේ රෝගයක්ම බෝ වෙනවද?
හැම සමේ රෝගයක්ම එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවෙන්න විදියක් නැහැ. එහෙම අවදානමක් නැහැ.

ඒ වුණත් සමහර සමේ රෝග පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වැළඳෙන්න පුළුවන්. ඒවා බෝ වන සමේ රෝග ලෙස හඳුන්වනවා.
ඒ විදියට බෝවෙන සමේ රෝග බැක්ටීරියා ආසාදන, වෛරස් ආසාදන, දිලීර ආසාදන, පරපෝෂිත ආසාදනවලින් තමයි හටගන්නේ. ලාදුරු රෝගය, කෂානා රෝගය (පණු හොරි), පැපොල ආදිය ඒ අතරින් බෝ වන සමේ රෝග ලෙස හඳුන්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත නොවන සමේ රෝග බෝ නොවන සමේ රෝග වශයෙන් හඳුන්වනවා. බැක්ටීරියා ආසාදන, වෛරස් ආසාදන, දිලීර ආසාදන, පරපෝෂිත ආසාදනවලින් ඇති වන සමේ රෝග හැර අනෙක් සියලු ම සමේ රෝග බෝ නොවන සමේ රෝග වශයෙන් සලකන්න පුළුවන්.

සමේ රෝග ඇති වෙන්නෙ ඇයි?
සමේ රෝග ඇති වෙන්න බලපාන හේතු විවිධාකාරයි. ඒවා අතරට ජානමය සාධක, පාරිසරික සාධක, පෝෂණමය තත්ත්ව වගේම ඖෂධ වර්ගත් එකතු වෙනවා.

හඳුනාගැනීමේ ලක්ෂණ…
සමේ රෝගයක් ඇතිවීමේ මූලික ලක්ෂණය ලෙසින් සමේ පැහැය වෙනස් වීම දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සම ගැලවී යන්න පුළුවන්. සම රතු වෙන්න පුළුවන්. සමේ කැසීම්, සමේ වේදනාවන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉබේ ඇති වන චකිතය වැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇති වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

සමේ රෝගවලදි වේදනාව දැනෙන්නෙ ඇයි?
සමේ ස්නායු හෝ රුධිර වාහිනි සම්බන්ධව ඇති වන ආසාදන තත්ත්වයක් නිසා තමයි සමේ වේදනාවක් ඇතිවෙන්නෙ. මේ විදියට ඇතිවන සමෙහි වේදනාව වැඩි දියුණු වී පසු කාලීනව දරුණු සමේ රෝග තත්ත්වයක් වුවත් ඇති වෙන්න ඉඩ තිබෙන නිසා සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම වැදගත්.

ළදරුවන්ට වැඩියෙන් වැළඳෙන සමේ රෝග…
බොහොමත් වෙලාවට ළදරුවන්ට සමේ රෝග වැළඳෙනව වැඩියි. ඉතින් දිනපතා‍ දරුවා ස්නානය කර වීම මඟින් ළදරු වියේ දී ඇති වන සමේ රෝග බොහොමයකින් ආරක්ෂා වෙන්න පුළුවන්. හැබැයි දරුවන්ට භාවිත කරන සබන් ෂැම්පු ආදිය නිසි ප්‍රමිතියකින් යුක්ත වීම අවශ්‍ය බව අමතක කරන්න එපා. අනවශ්‍ය ආලේපන වර්ග භාවිත කරන්න එපා.

සමේ රෝගයක් වැළඳුණොත්…
සමේ රෝගයක් වැළඳුණු අයෙකු හැකි ඉක්මනින් ‍වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි. ඒ උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිකාර ගැනීම කරන්නට ඕනෙ. ඒත් ගොඩක් අය කරන්නෙ අත් බෙහෙත් කරන එක. එහෙම කරන එක නම් හොඳ නැහැ. මොකද එහෙම වුණොත් සමේ රෝගය උග්‍ර වීමට ඉඩ තියෙනවා.

සමේ රෝග සහ ආහාර අතර සම්බන්ධයක් තියෙනවද?
හැම සමේ රෝගයකටම නොවුණත් ඇතැම් සමේ රෝග තත්ත්වයන් වලදී ආහාර පාලනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව හොඳ උදාහරණයක් දක්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට අධික තරබාරුකම හේතුවෙන් ඇති වන සම අවපැහැ ගැන්වීම නැති කිරීමට අධික මේදය සහ අධික පිෂ්ඨය අඩංගු ආහාර අඩුවෙන් ගන්නට වෙනවා. ඒ වගේ සමහර සමෙහි රෝග කෙරෙහි අප ගන්නා ආහාර පාන කෙළින්ම බලපාන නිසා ඒවා පාලනය කරන්න වෙනවා.

සමේ ඇති වන විවිධ ලප කැළල්…
අද වනවිට සමේ ඇති වන විවිධ ලප කැළල් ඉවත් කිරීම සඳහා පිළියම් කිහිපයක් තියෙනවා. විවිධාකාර ආලේපන වර්ග, විවිධ උපකරණ මඟින් ලබා දෙන ප්‍රතිකර්ම ක්‍රම, ශල්‍යකර්ම, ලේසර් ප්‍රතිකාර, විවිධාකාර නික්ෂේපණ (ඉන්ජක්ෂන්) සහ විවිධ ආලෝක කිරණ ආදී ක්‍රමවේද සමෙහි ඇති වන ලප කැළල් ඉවත් කිරීම සඳහා භාවිත කරනවා.

සමේ රෝග සුව කරන්න පුළුවන්…
නුතන ලෝකයේ පවතින දියුණු වෛද්‍ය ප්‍රතිකර්ම මඟින් සමේ රෝග බහුතරයක් නිට්ටාවට ම සුව කළ හැකි බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් අනාවරණය කර ගෙන තිබෙනවා. ඒ නිසා සමේ රෝගයක් හෝ රෝග ලක්ෂණයක් හටගත් වහා අනවශ්‍ය ලෙස බය වෙන්න එපා. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමයි කළ යුත්තේ. ඒ වගේම සෞඛයට හිතකර ආහාර රටාවක් අනුගමනය කිරීම, පිෂ්ටය හා තෙල් අධික ආහාරවලින් වැලකී සිටීම, දිනපතා ස්නානය කිරීම ආදී සෞඛ්‍යමය පුරුදුවලට අනුගත වීමෙන් සමේ රෝගයක් හටගත්තත් ඉක්මනින් සුවපත් වෙන්න පුළුවන්.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....