දරුවෙකුගේ සංවර්ධනය මේ තරම් වැදගත් ඇයි…

දරුවෙකුගේ වර්ධනය කියන්නේ ඒ දරුවාගේ සංවර්ධනය නම් නෙවෙයි. වර්ධනයත් සංවර්ධනයත් අතර ලොකු වෙනසක් තියෙනවා. වර්ධනය කියන්නේ දරුවා උස යනවා, බර වැඩිවෙනවා ආදී කාරණා. හැබැයි අපි දරුවාගේ සංවර්ධනය කියලා කතා කරන මේ මාතෘකාව ගත්තොත් එය වර්ධනයට එහා ගිය කාරණයක්. එතැනදි අදහස් කරන්නේ දරුවාගේ කායික වර්ධනයට එහා ගිය කුසලතා හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ දරුවෙකු බිහිකරනා ආකාරය පිළිබඳව කතා කිරීමයි.

දරුවා වැඩීමත් එක්ක සාමාන්‍යයෙන් වැඩිහිටියන් විසින් ඉටු කරනු ලබන විවිධ කාර්යය කෙමෙන් කෙමෙන් දරුවා ඉගෙනගන්නවා. ඒ තම වැඩිහිටියන් කරන කියන දේ ග්‍රහණය කර ගනිමින්. ඒ විදියට තමයි ඔවුන් යම් යම් කරුණු කාරණා ග්‍රහණය කරගන්නේ.

කෙමෙන් වැඩෙන පුංචි පැටියා…
පුංචිම කාලයේ ඇඳේ නිදාගෙනම හිටපු දරු පැටියා කාලයත් එක්ක නැඟිටලා ඉඳගන්නවා. කෙමෙන් කෙමෙන් ඇවිදින්නට පටන් ගන්නවා. වචනයක්වත් කතා කරන්න බැරිව හිටපු දරුවා වැඩීමත් එක්ක කතා කරනවා. හිතන්නට පටන් ගන්නවා. නිර්මාණ කරනවා. දරුවා මේ හැමදේම ඉගෙන ගන්නවා. ඒ තමන් ජීවත්වෙන සමාජයෙන්.
ඉතින් මෙන්න මේ දේවල් දරුවාට උගන්වන වේගය වගේම උගන්වන ක්‍රමය මත අවසානයේ දරුවා කෙතරම් දක්ෂයෙක් ද කියන එක තීරණය වෙනවා.

නිවැරැදි සංවර්ධන උපක්‍රම…
ඒ හේතුව නිසාම දරුවාට පුංචි කාලයේ පටන්ම නිවැරැදි ආකාරයේ සංවර්ධන උපක්‍රම භාවිතය වැදගත්. මොකද ඉදිරියේ දී දක්ෂ හැකියාවන්ගෙන් පිරුණු නිර්මාණශීලී දරුවෙක් දකින එක තමයි හැම මවකගේ පියෙකුගේම එකම අරමුණ බවට පත්වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කරන්නට ඇති දේ බොහොමයි. ඒත් මේ කාරණාව පිළිබඳව සුළුවෙන් හිතන්න බැහැ. මොකද ඒක ලොකු ගමනක ආරම්භයක්.

දරුවෙකුගේ සංවර්ධන ක්‍රියාවලියේ දී වැදගත්ම අංගය බවට පත්වෙන්නේ දරුවාගේ මොළය. දරුවෙකුගේ මොළය වැඩියෙන්ම හැදෙන්නේ පළමු වසර දෙක තුළ. ඒ කියන්නේ මොළයෙන් සියයට අසූවක්ම හැදෙන්නේ මේ කාලයේදී. ඉතින් මොළය මේ ක්‍රියාවලියේදී කටයුතු කරන්නේ කොයි ආකාරයට ද කියන දේ වටහා ගැනීමත් බොහොම වැදගත්.
කොහොමත් මොළය මොනවම හරි දෙයක් ගැන තීරණ ගන්නේ මොළයට හමුවෙන උත්තේජක මත. ඇත්තටම මොළයට උත්තේජන එන කටවල් පහක් තියෙනවා. ඒ ඇස කන, නාසය, දිව, ශරිරය කියන අවයව පහ. මේ කටවල් පහට අමතරව පුංචි කටවල් මඟින්ද මොළයට උත්තේජන රැඟෙන යනවා. ඒ වගේම කුසගින්න, මුත්‍රා බර, වැසිකිළි යාමේ අවශ්‍යතාව, කැක්කුම් ආදි දේ නිසාත් පොඩි පොඩි සන්නිවේදන මොළයට එන්න පුළුවන්. මේ හැමදේම හරහා යන උත්තේජන මොළයට ගමන් කළාට පස්සේ තමයි යම් යම් තීරණ ගන්නේ. අපි ගන්නා හැම ක්‍රියා මාර්ගයකදිම කටයුතු කරන්නේ ඒ ආකාරයෙන් උත්තේජන මොළයට යැවීමෙන් ගන්නා තීරණ මත පිහිටමින්.

උත්තේජන සහ ප්‍රතිචාර…
ඒ කාරණාව උදාහරණයකින් පැහැදිලි කරන එක හොඳයි. ඔන්න පොඩ්ඩක් හිතන්නකො වැඩිහිටියෙක් සර්පයෙක් දකිනවා කියලා. එයා මොකද කරන්නේ, එතැනින් පලා යනවා. ඒත් ඒ වගේ අවස්ථාවකට කුඩා දරුවකුට මුහුණ දෙන්න සිදු වුණොත් කුඩා දරුවාගේ හැසිරීම බෙහෙවින් වෙනස්.

මුලින්ම වෙන්නෙ දරුවා සර්පයා කියන රූපය දකින එක. ඒ දකිනවාත් එක්කම මොළයේ තිබෙන ඇස සම්බන්ධ ස්නායු මඟින් ඒ සර්පයෙක් කියා හඳුනාගන්නවා. එතැනදි මොළයෙන් මින් පෙර සර්පයා කියා හඳුනාගත් සත්ත්වයා ගැන සිහිපත් කරනවා. කලින් ඒ සර්පයා ගැන දැනගෙන හිටිය දේවල් පිළිබඳව මතකයට නඟනවා. මෙන්න මේ කියන හැමදෙයක් ගැනම හිතලා මෙහෙම තීරණය කරනවා. සර්පයා කියන්නේ විෂ සතෙක්. ඒ නිසා ළඟට යන්න හොඳ නැහැ. ඒ දේවල් හිතනවත් එක්කම ප්‍රතිචාර දක්වනවා. අන්න ඒ වෙලාවට ක්ෂ්ණිකව ක්‍රියාමාර්ගයක් ගන්නවා. එතැනදි මොළයේ සෛල විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලා ලොකු කාර්යයක් කරනවා.
ඔන්න ඒ වෙලාවෙදි සර්පයා කියලා හඳුනානොගත්තොත් හැම දෙයක්ම අවසානයි. සර්පයා හදුනාගත්තට සර්පයාගෙන් හානිවෙනවා කියලා හඳුනන්නේ නැත්නම් ඒකත් ලොකු ගැටලුවක්. හානියක් වෙනවා කියලා හඳුනාගෙන එතැනින් ඉවත්වෙන්න ඕනේ කියලා නොහිතුනොත් ඒකත් ප්‍රශ්නයක්. මෙන්න මේ සියලුම වටහා ගැනීම් පොඩි කාලයේ ඉඳලම දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒක සර්පයෙක් ගැන විතරක් නෙවෙයි, අවට පරිසරය සමඟ බද්ධ වූ හැමදෙයක්ම ගැන කියලා දෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි එවන් අවස්ථාවක ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක සම්බන්ධවත් කියලා දෙන්නට ඕනේ. ඒ අවබෝධය කුඩා කාලයේ දීම ලබාදීම බොහොමත් වැදගත්. හැබැයි ඒ දේවල් දරුවාට වචනයෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් අවබෝධ කර දීමට උත්සාහ කරනවා නම් ඒක බොහොම හොඳයි.

මොකද මේ වගේ වෙලාවක දරුවා ප්‍රතිචාර දක්වනවා. ඉතින් මෙතෙක් කලක් දරුවා ලබාගත් වැඩිහිටි ආභාසය ඒ ප්‍රතිචාර ගැනීමේදී බෙහෙවින් ඉවහල් වෙනවා.

කල්හාරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here