ස්වභාවික සත්කාරවලින් ලස්සන වෙන්න කැමතිනම් මේක කියවන්න

by Ravi Gamage

ස්වභාවික දේ භාවිතයෙන් රුවැත්තියක් වෙන්න පුළුවන් නම් ඒක කෙතරම් භාග්‍යයක් ද? ඒත් ගොඩක් අය ඒ ගැන හිතන්නෙ නැහැ. එයාලා හිතන්නෙ මුදල් වියදම් කරලා සැලොන් එකකට ගිහින් කරන සත්කාරක තරම් සොබාවික සත්කාර ප්‍රයෝජනවත් නැහැ කියලා. ඒ අදහස වැරැදියි. ඇත්තටම සොබාවික සත්කාරක භාවිතයෙන් අපට ගෙදරදීම අපේ සුන්දරත්වය රැකගන්න පුළුවන්.

ඖෂධීය ගුණැති කහ සත්කාරය
කහ කියන්නෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වඩාත් භාවිතා වන විෂබීජ නාශක ගුණයෙන් යුක්ත ඖෂධීය ගුණයෙන් අනූන සොබාවික ඔසුවක්. මේවා භාවිතයෙන් ඇස් යට අවපැහැ ගැන්වීම්, කුරුලෑ ලප කැලැල්, මුහුණේ හා බෙල්ලේ අදුරු ගතිය දුරලනවා. ඉතින් ඒ කහ සත්කාරය කරන්නෙ කොහොමද කියලා බලමු. බොහොම පහසුවෙන් කරන්න පුළුවන් සත්කාරකයක්. ඒ සඳහා මී පැණි තේ හැන්දකට කහ කුඩු හැදි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණෙහි, බෙල්ලෙහි, හා ඔබගේ අත් පා වලද ආලේප කරන්න. ඒ ආලේපය මිනිත්තු 20-25 ක් වගේ කාලයක් තබා පිරිසිදු ඇල් දියෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දෙතුන් වතාවක් කළොත් ඔබ නොහිතන විදියේ සුන්දර පෙනුමක් ලබාගන්න පුළුවන්.

රෝස වතුර සත්කාරය ගැන අහලා තියෙනවද?
රෝස වතුර සත්කාරයෙන්සමේ වර්ණය වැඩි වෙනවා. මෙමඟින් ඉතාමත් මෘදු හා පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.
ඒ සඳහා එළකිරි කෝප්පයකට රෝස මල් පෙති එකතු කර මිනිත්තු 20 කින් පමණ ඔබේ මුහුණ සෝදන්න. මේ සත්කාරය දවසකට තුන් වරක්වත් කරන්න පුළුවන් නම් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

විටමින් C වලින් පොහොසත් දොඩම් සත්කාරය
විටමින් C කියන්නෙ සමේ තානය දියුණු කිරීමට මහඟු උපකාරයක් කරන්නක්. ඉතාමත් පහසුවෙන් දොඩම් සත්කාරයක් කරගන්න අපට පුළුවන්. ඒ සඳහා දොඩම් ලෙලි කිහිපයක් අරගෙන කුඩක් ආකාරයට කුඩු කර ගන්න. එම කුඩට කහ ස්වල්පයක් එකතු කර තැඹිලි යුෂ සමග මිශ්‍ර කර ආලේපයක් ලෙස සාදා ගන්න ඔබට පුළුවන්. මේ ආලේපය මුහුණේ ගල්වා මිනිත්තු 20 කින් පමණ සෝදා ඉවත්කර වෙනස කොහොමද කියලා බලන්නකො.

මැරුණු සෛල ප්‍රාණවත් කරන ලෙමන් සත්කාරය
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත ලෙමන් සත්කාරයෙන් සමෙහි මැරුණ සෛල ප්‍රාණවත් කෙරෙනවා. ඒ සඳහා උණු වතුරට ලෙමන් යුෂ ස්වල්පයක් එක් කොට මුහුණ සේදීමට පුළුවන්. ඒ වගේම ලෙමන් යුෂ වලට කහ එකතු කොට ආලේපයක් ලෙස සාදා මුහුණෙහි ආලේප කර මිනිත්තු 20 කින් පමණ සෝදා හරින්න. ඔබේ සමට අලුත් පණක් ලැබේවි.

පැපොල් සත්කාරය ගැන මොනවද දන්නෙ?
පැපොල් කියන්නෙ බ්ලීචිං ගුණාංග සහිත පලතුරක්. ඒ නිසා මේවා භාවිතයෙන් සත්කාරක කිරීමෙන් මිය ගිය සෛල ඉවත් කරන්න පුළුවන්. එය දීප්තිමත් සමකට හේතුවක්.
ඉදුණු පැපොල් ලෙමන් යුෂ ස්වල්පයක් සමඟ මිශ්‍ර කර සකසා ගත් තලපය මුහුණෙහි ආලේප කර මිනිත්තු 30 කින් පමණ සෝදා හැර එහි වෙනස ඔබටත් අත්හදා බලන්න පුළුවන්. සතියකට දෙතුන් වරක් කළොත් බොහොමත් ඉක්මන් ප්‍රතිඵල ලබාගන්නට හැකියාව තියෙනවා.

ආමන්ඩ් සත්කාරය ගැන අහලා තියෙනවද?
සමේ අඳුරු ගතිය ඉවත් කිරීමට අපූරු පිළියමක් විදියට ආමන්ඩ් සත්කාරය දක්වන්න පුළුවන්. මෙහි ඔමේගා 3 මේද අම්ල තියෙනවා. එය සමේ අඳුරු පෙනුම ඉවත් කිරීමට ඔබට උපකාර වෙනවා. ඒ සඳහා ආමන්ඩ් ඔයිල් වලට කුංකුම එකතු කර සමේ අදුරු ස්ථාන වල ආලේප කරල බලන්න, වෙනස කොහොමද කියලා. ඒ වගේම ආමන්ඩ්, ලෙමන් යුෂ හා කිරි මිශ්‍ර කර ආලේප කරන්නත් පුළුවන්. බලාගෙන ඉන්න කොට ඔබේ සම පැහැපත් වෙනවා.

සම සිසිල් කරවන පිපිඤ්ඤා සත්කාරය
මෙමඟින් හිරුගෙන් සමට වන බලපෑම අවම කළ හැකියි. ඒ සඳහා පිපිඤ්ඤා යුෂ සමඟින් මී පැණි මිශ්‍ර කර මුහුණෙහි ආලේප කරන්න. එතකොට හිරු එළියට අව පැහැ ගැන්වුණු ඔබේ සමේ පෙනුම මග හරවා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇස් වටා කළු වීම අවම කර ගන්නත් පුළුවන්. ඒ සඳහා පිපිඤ්ඤා භාවිත කරන්නෙ කොහොමද කියලා ඔබ දැනටමත් දන්නවා.

තක්කාලි සත්කාරයෙන් එක රැයකින් අපූරු සුන්දරත්වයක්…
ඔයාගෙ සමේ තියෙන කුණු දූවිලි ඉවත් කර එක රැයකින් සම දීප්තිමත් කර ගැනීමට තක්කාලි භාවිතයෙන් පුළුවන්. මොකද තක්කාලි අළුත් සෛල නිපද වීමට මහත්සේ උපකාර වන ද්‍රව්‍යයක්.
මේ සඳහා තක්කාලි යුෂ ස්වල්පයක් ගෙන එයට ලෙමන් යුෂ එක් කර අදුරු ස්ථාන වල ආලේප කර පසුව සෝදා හරින්න පුළුවන්. හැබැයි ඉතින් තෙල් සහිත සමකට නම් තක්කාලි යුෂ මී පැණි සමඟින් මිශ්‍ර කර මුහුණේ ගල්වා පසුව සීතල වතුරෙන් සෝදාහරින්න වෙනවා. මෙය කුරුලෑ වලටත් අපූරු ප්‍රතිකර්මයක්.

ලප කැලැල් දුරලන අලිගැට පේර සත්කාරය…
ලප කැලැල් ඉවත් කොට දීප්තිමත් සමක් ලබා ගන්න අපි හැමෝම කැමැතියි. ඒ සඳහා අපට අලිගැටපේර යොදා ගන්න පුළුවන්. මේවා තලපයක් සේ සාදා එයට පිපිඤ්ඤා යුෂ හා මී පැණි ස්වල්පයක් එකතු කොට මිශ්‍ර කර මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කර මිනිත්තු 20 කින් පමණ සෝදා හැර බලන්නකො ඔයාගෙ මුහුණෙ ලප කැලල් කොහාටද ගියෙ කියලා.

කන්න වගේම ඇඟ ගල්වන්නත් හොඳ යෝගට්…
යෝගට් ආහාරයට ගැනීමෙන් ඇඟ සිසිල් කරනවා. සෞඛ්‍යයට බෙහෙවින් හිතකර ආහාරයක්. ඒ වගේම එහි අඩංගු ලැක්ටික් අම්ලය හා විරංජන ගුණය සමේ පැහැපත් බව ආරක්ෂා කිරීමට සමත්.
ඒ සඳහා යෝගට් ස්වල්පයකට මී පැණි එකතු කර හොඳින් කලවම් කර ඔබගේ මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කර මිනිත්තු
15 කින් පමණ සෝදා හැර බලන්නකො. මී පැණි නොමැතිව යෝගට් පමණක් ආලේප කරන්නත් පුළුවන්. එතකොට හැබැයි සෝදන්න වෙන්නෙ මඳ උණුසුම් ජලයෙන්. සතියකට වරක් හෝ දෙවරක් මේ සත්කාරය කරලා ඒ අපූරු වෙනස කොහොමද කියලා බලන්න ඔබටත් පුළුවන්.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....