ලස්සන වෙන්න කියාපු පෝෂණ ගුණයෙන් සපිරුණු ඕට්ස්….

by Ravi Gamage

ඕට්ස් තවම ඔබේ ආහාරයට එකතු කර ගත්තෙ නැද්ද?

ඕට්ස් නිවුඩ්ඩ සෑදී ඇත්තේ ඕට්ස් බීජවල පිටත කවචයෙන්. මෙම පිටත කවචයේ අඩංගු පෝෂක බොහොමයි. ඒ අනුව තන්තු ප්‍රෝටීන් සහ යකඩ මෙන්ම මැග්නීසියම්, තයමින්, ෆෝලේට් පැන්ටොතනික් අම්ලය, විටමින් A, C, D පොස්පරස්, මැංගනීස්, සින්ක් සහ තඹ වැනි ප්‍රධාන ඛනිජ ලවණත් අඩංගුයි. ඇත්තටම මේ සා මාහැඟි පෝෂක ගුණයන්ගෙන් අනූන වූ ඕට්ස් ආහාරයට ගැනීමෙන් අප හිතනවාට වඩා බොහොමත් දේ අපේ සිරුරට ලැබෙනවා.

ඒ අනුව ඕට්ස්වල අන්තර්ගත මෙම සංඝටක හේතුවෙන් හිස් කබල ශක්තිමත් කෙරෙනවා. හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාර වෙනවා.

ඒ වගේම ඕට්ස් නිසා සමේ ph අගය සාමාන්‍ය තත්ත්වයට පත්කෙරෙනවා. ශරීරයේ දැවිල්ල අඩු කිරීමට සහ වියළි සමට තෙතමනය ලබාදීමට මේවා උපකාර වෙනවා.

මේවායේ අඩංගු ස්වභාවිකව සම පිරිසිදු කරන බීටා-ග්ලූකන් සමෙහි තෙතමනය රදවාගැනීමට උපාකරී වනවා. ඒ වගේම පරිසරයේ පවතින කාබන්, දුහුවිලි අංශුවලින් සම ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි හානියට පත් හිසකෙස් අලුත්වැඩියා කරනවා.

ඒ වගේම තමයි ඕට්ස්වල ඔමේගා 6 මේද අම්ලයෙන් පොහොසත්. ඇත්තටම ඕට්ස් කියන්නෙ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඕට්ස් තුළ අඩංගු ඇවෙන්ට්‍රාමයිඩ් සංඝටකය නිසා නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කෙරෙනවා. ඒ වගේම රුධිර පීඩනය අඩු කිරීමට ඇවෙන්ට්‍රාමයිඞ් උපකාරී වෙනවා.ඒ විතරක් නෙවෙයි, ඕට්ස්වල බීටා-ග්ලූකන් විශාල ප්‍රමාණයක් අඩංගුයි. එය ද්‍රාව්‍ය තන්තු වර්ගයක්.

ඉතින් මෙන්න මේ බීටා-ග්ලූකන් අර්ධ වශයෙන් ජලයේ දිය වී බඩවැල්වල ජෙලි වැනි සංඝටකයක් නිපදවනවා. මේ බීටා-ග්ලූකන් ආහාර ජීර්ණ පද්ධතියේ හොඳ බැක්ටීරියා වර්ධනය කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම සංඝටකය කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත් උපකාරී වෙනවා.

වයස අවුරුදු 6 ට අඩු ළදරුවන්ට ඕට්ස් ලබාදීමෙන් ළමා ඇදුම සෑදීම අවම කරන බව පර්යේෂණවලින් සනාථ කර තියෙනවා. ඕට්ස්වල තන්තු බහුලව අන්තර්ගත නිසා මල බද්ධය සමනය කෙරෙනවා.

ඕට්ස් මේස හැඳි 04
ජලය මේස හැඳි 04
මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හැරීමෙන් සම සිනිදු වෙනවා.

වියළි ගතිය නැති කිරීම හා සංවේදී සමට ෆේස්පැක් එකක් විදියටත් ඕට්ස් භාවිත කරන්න පුළුවන්. ඒ සඳහා,
ඕට්ස් මේස හැඳි 04
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 02
මී පැණි මේස හැඳි 01
මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න. වෙනස කොහොමද කියලා බලන්න.

කැළැල් සහිත සමට ගුණදායක ඕට්ස්…
සමේ පවතින කැළැල් දුරලන්න ඕට්ස් අපූරු සත්කාරකයක්. ඒ සඳහා,
ඕට්ස් මේස හැඳි 04
යෝගට් මේස හැඳි 01
මී පැණි බිංදු 08
මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

කුරුළෑ සහිත සමක් ඇති ඔබටත් අපූරු පැක් එකක් ඕට්ස් භාවිතයෙන් හදාගන්න පුළුවන්. ඒ සඳහා,
ඕට්ස් මේස හැඳි 04
බිත්තර සුදු මද 01
දොඩම් යුෂ මේස හැඳි 01 එකට
මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.

වියළි සමක් තියෙනව කියලා තැවෙන්න එපා. ඒ අයටත් ඕට්ස් අපූරු සත්කාරයක්. ඒ සඳහා,
ඕට්ස් මේස හැඳි 04
මී පැණි මේස හැඳි 02
වර්ජින් කොකනට් ඔයිල් තේ හැඳි 01 ක්
මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හැරලා වෙනස කොහොමද කියලා බලන්නකො.

තෙල් සහිත සමක් සහිත අයටත් මෙය ඉතාමත් හොඳ සත්කාරයක්. ඒ ආලේපනය හදාගන්නේ,
ඕට්ස් මේස හැඳි 04
දොඩම් යුෂ මේස හැඳි 04
මිශ්‍ර කරලයි. ඉතින් ඒ පැක් එක මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදලා ඇතිවෙන වෙනස කොහොමද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි හිසකෙස්වල ගැටලු තියෙන අයටත් ඕට්ස් හොඳ ප්‍රතිකාරයක්. ඉතින් ඔයාලගෙ කෙස් කළඹ නිරෝගීව තියාගන්න කැමැති නම්
ඕට්ස් මේස හැඳි 06
බිත්තර සුදු මද 01
දෙහි යුෂ බිංදු 08
මිශ්‍ර කර හිස්කබලේ ආලේප කර පැයකට පසු ස්නානය කරන්න. ඉන් පස්සෙ ඔයාගෙ හිස කෙස් කැඩීම ඇතුළු ගොඩක් හිසකෙස්වල ප්‍රශ්න ඔයාගෙන් ගොඩක් දුරකට යන්න යාවි.

හිසකෙස් ගැන කතා කරද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හිස්හොරි. ඔන්න ඉතින් ඒ ගැටලුවටත් හොඳ සත්කාරයක් කරන්න ඕට්ස් භාවිතයෙන් පුළුවන්.
ඒ සදහා,
ඕට්ස් මේස හැඳි 06
වර්ජින් කොකනට් ඔයිල් මේස හැඳි 04
මිශ්‍ර කර හිස් කබලේ ආලේප කර විනාඩි 30කට පසු ස්නානය කරන්න.

ඒ වගේම …
ඕට්ස් මේස හැඳි 06
තල තෙල් මේස හැඳි 04
දොඩම් යුෂ මේස හැඳි 01
මිශ්‍ර කර තබා නෑමට විනාඩි 30කට පසු ස්නානය කරන්න.

ඉතින් ඕට්ස් කියන්නෙ ආහාරයට වගේම අපූරු රූපලාවණ්‍ය සත්කාරයක් කියන අවබෝධය දැන් ඔයාලට ලැබෙන්න ඇති. එහෙම නම් ඔබත් ඕට්ස් ආහාරයට වගේම සත්කාරකවලට පුරුදු වෙලා ඒ වෙනස මොනවගේද කියලා බලන්නකො.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....