දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නැහැ – වනජීවී ඇමති

දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නොදෙන බවත්, මුවන් ගෝනුන් දඩයම් කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහයේ උපරිම දඩය ලබාදෙන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී රත්නායක මහතා ප්‍රකාශ කළේය. ගම්පොළ දොළුව අඹගස්තැන්න ප්‍රදේශයේ වත්තක අටවා තිබූ උගුලකට හසුවීමෙන් වයස අවුරුදු දෙකහමාරක් පමණ වන දිවියෙකු ඊයේ (23) දින මියයාමත් සමග ලංකාවේ දිවියන්ට මුහුණපෑමට සිදුව ඇති ශෝචනීය තත්ත්වය පිළිබදව කරුණු විමසීමේදී රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබුණා.

තමා වනජීවී අමාත්‍ය දූරයට පත්වී තවමත් ගතවී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් වන අතර වන ජීවීන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් ඉදිරියේදී දණ්ඩනීති සංග්‍රහයේ අනපනත් සංශෝධනය කර දඩ මුදල තුන්ගුණයක් දක්වා වැඩිකර දැඩි දඩුවම් පැනවීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

දුර්ලභ ගණයේ සතුන්, වන ජීවීන් ආරක්ෂා කිරීමට මෙන්ම වන සංරක්ෂණය උදෙසා පරිසර හිතකාමී පිරිස් වල සහභාගීත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත්, පශු වෛද්‍යවරුන් වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම ඒකකය වන ජීවීන්ට හානියක් පැමිණෙන අවස්ථාවකදී ක්ෂණිකව එම ස්ථාන වලට ගොස් කටයුතු කිරීමට හැකි වන අයුරින් සකස් කරන බවත් වනජීවී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

පොලිස්පතිතුමාද සමග සාකච්ඡා කර ඉදිරියේදී වන සංරක්ෂණය සහ වනජීවීන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට වන හානියන් දැනුම් දීමට ක්ෂණික ඇමතුම් අංකයක් Hotline හදුන්වාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here