බිත්තියේ තියෙන පාට පැල්ලම් යවන්න අමාරුද?

by Ravi Gamage

කුඩා දරුවෙක් ඉන්න ගෙදරක පාට කුරකින් රූප ඇඳපු නැති බිත්තියක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. කොච්චර පොත් වර්ග, කොල වර්ග, වයිට් බෝඩ්, බ්ලැක් බෝඩ් ගෙනත් දුන්නත් පොඩි දරුවෝ හරි කැමතියි බිත්තියක චිත්‍රයක් ඇඳලා බලන්න. පර්යේෂකයෝ පවා කියලා තියෙනවා දරුවන්ට ඒ ක්‍රියාකාරකමට ඉඩ හරින්න කියලා. මොකද ඔවුන්ගේ මොළය සිඝ්‍රයෙන් වර්ධනය වෙන අවධිය තමයි ඒ. ටික ටික ලොකු වෙද්දී ඔවුන්ම ඒ පුරුද්ද අත්හැර ගන්නවා.

ඒත් මේ පුරුද්ද අම්මාට නම් හිසරදයක් කියලා කියන්න අවශ්‍ය නැහැ. මොකද ගෙදර පිළිවෙලට ලස්සනට තියාගන්න ඒක බාධාවක් නිසා. අනිත් දේ තමයි ඒ පාට පැල්ලම් මකන්න තියෙන කරදරය. ඉතින් ඒ පැල්ලම් ගෙදරදීම හරිම ලේසියෙන් මකාගන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි මේ කියන්න යන්නේ.

ඒත් මතක තියාගන්න මේ ක්‍රම හැම බිත්තියකටම හරියන්නේ නෑ කියන එක. මුලින්ම පොඩි කොටසක් මකලා බලන්න.

රෙදි
මුලින්ම පැල්ලම වතුරෙන් තෙමාගත්ත රෙදි කෑල්ලකින් යවන්න උත්සාහ කරලා බලන්න.

සබන් කුඩු
මද උණුසුම් ජලයට විනාකිරි සහ සබන් කුඩු සමාන ප්‍රමාණ අරන් මිශ්‍ර කරලා බ්‍රෂ් එකකින් බිත්තියේ පැල්ලම් තියෙන තැන්වල සෙමින් අතුල්ලලා සෝදා හරින්න.

ටූත් පේස්ට්
බිත්තියේ තියෙන කුඩා පැල්ලම් යවන්න මේ ක්‍රමය සුදුසුයි. ඒ පැල්ලම් උඩ සුදු පාට ටූත් පේස්ට් ගාලා ටික වෙලාවක් තියන්න. ඊටපස්සේ ටිකක් ගොරෝසු රෙදි කෑල්ලකින් පැල්ලම උඩ අතුල්ලලා තෙතස්පොන්ච් එකකින් ටූත් පේස්ට් ටික ඉවත් කරගන්න.

නේල් පොලිෂ් රිමූවර්
පැල්ලම උඩ නේල් පොලිෂ් රිමූවර් ආලේප කරලා රෙදි කෑල්ලකින් පිසදාන්න.

වැලි කඩදාසි
අතට අසු වෙන ඝනකම් පැල්ලම් වැලි කඩදාසියකින් සෙමින් බිත්තිය පළුදු නොවෙන්න ඉවත් කරලා ඉතිරි පැල්ලම් ටූත් පේස්ට් පාවිච්චි කරලා ඉවත් කරගන්න.

බේකින් සෝඩා
උණු වතුරට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණය පැල්ලම ඇති ස්ථානයේ ආලේප කරලා ගොරෝසු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

Leave a Comment

සබැඳි සටහන්....