රෝස වවලා සල්ලි හොයමුද?

by Ravi Gamage

කාන්තාවන් ගොඩක් දෙනෙක් කැමතිම මලක් තමයි රෝස කියන්නේ. ඇත්තටම කිව්වොත් රෝස මලකට අකමැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. කාන්තාවන් විතරක් නෙවෙයි ලොකු, පොඩි, කාන්තා, පිරිමි මේ කියන හැම කෙනෙක්ගෙම හිතගත්ත මලක් තමයි රෝස කියන්නේ. ආදරයේ සංකේතය විදියට රෝස මල පාවිච්චි කරන්නෙත් මේ නිසාමයි.

ඒ වගේම තමයි රෝස කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඉහල ඉල්ලුමක් තියෙන මල් වර්ගයක් කිව්වොත් හරි. ලංකාවේ රෝස මල්වලට සහ පැලවලටත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. එළිමහනේ රෝස වවනවට වඩා හරිතාගාරයක් ඇතුළේ වැවුවොත් ගන්න පුළුවන් ප්‍රතිපල වැඩියි කියල තමයි පර්යේෂකයෝ කියන්නේ.

ඉතිං ව්‍යාපාරයක් විදියට රෝස වවන්න හිතාගෙන ඉන්නවනම් ඔයාටම තමයි මේ ලිපිය.

  • ඉහළ අස්වැන්නක් දෙන ප්‍රභේද වගා කිරීම
  • වැඩි ජීව කාලයක් ඇති ප්‍රභේද වගා කිරීම
  • ආකර්ෂණීය වර්ණ සහ වෙළෙඳපොලේ ජනප්‍රිය වර්ණ සහිත ප්‍රභේද වගා කිරීම
  • මද සුවඳක් ඇති ප්‍රභේද වගා කිරීම
  • ජලය පහසුවෙන් ඇද ගන්නා ප්‍රභේද වගා කිරීම
  • ලෙඩ රෝග හා යාන්ත‍්‍රික පළුදුවීම්වලට ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම

කැපූ මල් සඳහා වගා කරන රෝස ප්‍රභේද
දිගටි නටු සහිත රෝස ( සෙන්ටිමීටර් 70-90)
මධ්‍යම නටු සහිත රෝස (සෙන්ටිමීටර් 50-70)
කෙටි නටු රෝස
ස්ප්‍රේ රෝස

රෝස වගාව සඳහා දේශගුණික අවශ්‍යතා
මල් නිෂ්පාදනයට අවුරුද්ද පුරාම හොඳ සූර්යාලෝකයක් අවශ්‍ය වෙනවා.
උෂ්ණත්වය දිවා කාලයේදී 24C-28C අතර ද රාත‍්‍රි උෂ්ණත්වය 18C – 20C අතර ද අවශ්‍ය වේ.
21C දී ඉහළ නිෂ්පාදනයක් සහිත හොඳ වර්ධනයක් පෙන්වයි.

මාධ්‍ය
මතුපිට පස් -05
ගොම පොහොර – 04
වැලි -02

පරතරය
පැළ අතර පරතරය සෙන්ටිමීටර් 17 ක් ද, පේලි අතර පරතරය සෙන්ටි මීටර් 40-50 අතර ද විය යුතුයි.
සාමාන්‍ය පාත්තියක පේලි දෙකක පැළ සිටුවයි.
වර්ග මීටරයක පැළ 6-7 අතර ප්‍රමාණයක් සිටුවාගත හැකියි.
පැළ හා පේලි අතර පරතරය වැඩි කිරීමෙන් විශාල ප්‍රමාණයේ මල් හා දිග නටු සහිත මල් ලබා ගත හැකියි.

පැළ තෝරා ගැනීමේදී
ග්‍රාහකය පැන්සලක ප්‍රමාණයේ විය යුතුයි.
පැළ සෞඛ්‍යසම්පන්න විය යුතු අතර, රෝග පළිබෝධ හානි නොවූ පැළ විය යුතුයි.
පැළයක අවම වශයෙන් කඳ කොළ පැහැකි පත්‍ර යුගල දෙකක්වත් තිබිය යුතුයි.
පැළයක වයස බද්ධ කර මාස 2-3 අතර විය යුතුයි.

පැළ සිටුවීමෙන් පසු
පැළය සිටුවා සති හතරකට පසු මල් පොහොට්ටු දැකිය හැකියි. ඒවා කඩල ඇටකයක ප්‍රමාණයක වැඩි පාට පෙනෙන අවස්ථාවේ මල් පොහොට්ටුව ඉවත් කළ යුතුයි. (මෙහිදී පත්‍ර ඉවත් නොකොට පොහොට්ටුව පමණක් ඉවත් කළ යුතුයි)
මල් පොහොට්ටුවලට පහළින් පාර්ශ්වික අංකුර වර්ධනය වන්නේ නම් ඒවා ඉවත් කළ යුතුයි.
පාත්තිය සති දෙකකට වරක් බුරුල් කිරීම කළ යුතුයි.
වල් රෝස අතු වර්ධනය ඉඩ නොදිය යුතුයි.

පොහොර යෙදීම
පැළය සිටුවා දින 7-10 පමණ එනම්, රතුපාට දළු දමන අවස්ථාවේදී පහත සඳහන් පොහොර මිශ්‍රණය පැළයකට ග්‍රෑම් 10-15 පමණ යෙදිය යුතුයි.

ඇමෝනියම් සල්පේට් – 2
ට්‍රිපල් සුපර් පොස්පේට් -2
මියුරේට් ඔෆ් පොටෑෂ් -1

මල් පිපීම ආරම්භ කළ විට ඇමෝනියයම් සල්පේට් -2
ට්‍රිපල් සුපර් ෆොස්පේට් -3
මියුරේට් ඔෆ් පොටෑස් 7

පළමු මල් නෙලීම
බිම් මට්ටමේ අතුවල මල් නෙලීමේදී ප්‍රධාන කඳේ සිට පත්‍ර පහකට (05) ඉහළින් කැපීම සිදු කළ යුතුයි.
කැපුම ඉතා තියුණුව ඇලයට කැපිය යුතුයි.
කැපුම අංකුරයට සෙන්ටිමීටර් 01ක් පමණ ඉහළින් විය යුතුයි.

-ඌව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රකාශනයක් ඇසුරිණි-

Leave a Comment

සබැඳි සටහන්....