කෙස් ගස් ටික කැඩෙනවා නම් මෙන්න උත්තරේ…

by Ravi Gamage

පංච කල්‍යාණය ගැන කතා කරනකොට කේශ කල්‍යාණය අමතක කරන්නම බැහැ. මොකද ලියක සුරලියක ලෙසින් කැපී පෙනෙන්න නම් ඇයගේ කෙස් කලඹ සුන්දර වෙන්නම ඕනේ. එවන් සුන්දර නිරෝගී කෙස් කලඹක් ලබාගන්න එක හිතන තරම් පහසු නැහැ. ඒත් ඉතින් හැමදේටම ආලේපන සොයමින් කාලය ගෙවනවාට වඩා, නිවැරැදි දේ තෝරා ගත්තොත් ඇත්තටම පහසුවක් නේද?

කොහොමත් යුවතියන් තම හිසකෙස් ගැන වැඩියෙන් හිතනවා. එයට වැඩි ඉඩක් වෙන් කරනවා. ඒත් ඒ ඉඩ වෙන් කරන්නේ නිවැරැදි දැක්මකින් නොවෙයි. අන්න එතැනදී අපේ අයට වරදිනවා. ඒ වරද හදාගන්න ඕනෙකමක් නැතුවා ද මන්දා. ඒකනේ හැමදාමත් දකින දකින ආලේපන පසු පස දුවගෙන ගිහින් කාලයත් මුදලත් විනාශ කරගන්නේ.

රසායනික විපර්යාස හා කෙස්…
අප මොහොතින් මොහොත විවිධ කාලගුණික විපර්යාසවලට මුහුණ දෙනවා. ඒ වගේම හිසකෙස් හැඩගැන්වීමේ දී නිරන්තරවම අපේ හිසකෙස් රසායනික දේවල් සමඟින් ගැටෙනවා. එවන් වූ හේතූන් නිසා කෙස් වියළෙනවා. කැඩෙනවා. මේ සිදුවෙන බොහොමයක් අනර්ථකාරී දේ සිදුවන්නේ හිරුඑළිය, සුළඟ සහ සීතල කොණ්ඩයේ ස්වාභාවික තෙල් ගතිය විනාශ කර දමන නිසයි. ඒ වගේම හිසකෙස් මෝස්‌තර සඳහා යොදාගන්නා රසායනික සහිත ආලේපනත් මෙයට බලපාන එක් හේතුවක්. එනිසා කොණ්ඩය සඳහා නිවැරැදිව සත්කාර කිරීමට වගබලා ගන්නට ඕනේ.

ස්වාභාවික දීප්තියෙන් යුතු කොණ්ඩයක් ලබාගන්න වගේම මොයිස්චරයිස් ගතිය වැඩිකර ගැනීම කොයි තරම් නම් හිසකෙස් සඳහා වැදගත් ද කියලා ඔබට හිතාගන්නවත් බැරි වෙයි. මොකද කෙස් කළඹේ මොයිස්චර් ගතිය වැඩිකර ගැනීම නම් කළ යුතුමයි. එහෙම කරන්නෙ කොහොමද කියලා සිත වද වෙනවා නේද? වැඩියෙන් හිතන්න එපා. මෙන්න මේ සරල ක්‍රියාකාරකම් මඟින් ඔබට ඒ දේ කරන්න බොහොමත් පහසුයි.

අලුත් කොට්ට උරයක්… ඒත් කොටන් නම් එපා..
දන්නවද ඔබගෙ හිස කෙස් කැඩී යනවා කියන්නෙ ඔබ දැනට භාවිතා කරන කොට්ට උරය මාරු කරන්නට කාලය ඈවිත් කියන එක මතක් කර දීමක්. ඒත් හැබැයි එතැනදී ඔබ තෝරාගන්නේ කොටන් කොට්ට උරයක් නම් ඒකෙන් සිද්ධ වන්නේ යහපතක් නෙවෙයි.

අනේ ඉතින් කොහොමත් අපි කොටන් කොට්ට මතුපිටක නිදාගන්න කැමැතිනේ. ඇයි එපා කියන්නෙ. එහෙම හිතෙන ඔයාගෙ සිතට නොදැනුණු එක දෙයක් තියෙනවා. කපු මිශ්‍ර රෙදි සුවදායක වුණත් ඒ කපු සහිත රෙද්ද ඔබගේ කෙස්වල තිබෙන තෙල් ගතිය අවශෝෂණය කර ගන්නවා කියන කාරණාව. ඇත්තටම අපේ හිසකෙස් වියළෙන්න බලපාන මූලිකම හේතුවක් ඒ. මොකද ඔබ නිදද්දී කෙස් ගසේ ක්‍යුටිකලය නැමැති කොටසට හානි සිදුවෙනවා. එහෙම වුණාම කෙස් ගස පහසුවෙන් කැඩෙනවා. ඉතින් අදින් පස්සෙ නිදා ගැනීමේදී සුදුසු කපු නොවන කොට්ට උරයක් භාවිත කරන්නට පුරුදු වෙන එක හොඳයි.

ලීව් ඉන් කන්ඩිෂනර්…
මොනවද මේ ලීව් ඉන් කන්ඩිෂනර් කියන්නේ කියලා දැන් හිතෙනවා ඇති. ඒ කියන්නෙ සෝදා ඉවත් කිරීමට අවශ්‍ය නොවන කන්ඩිෂනර් භාවිතය. මේ කන්ඩිෂනර් ගලවන්නේ කොහොමද කියලා තමයි ඊළඟට අහන්නෙ. ඒක ලොකු දෙයක් නෙවෙයි. ලීව් ඉන් කන්ඩිෂනර් ස්වල්පයක් මතුපිටින් කෙස් කලඹට ඉසගෙන, පනාවක් ආධාරයෙන් මුල සිට අගට පිරන්න. එසේ පීරීමෙන් කන්ඩිෂනර් කෙස් ගසේ මුල සිට අගටම ගමන් කරනවා. එහෙම සත්කාරයක් කළාම කොණ්ඩය කැඩිල යනවා කියල මැසිවිලි නඟන්න වෙන්නෙත් නැහැ.

රාත්‍රී ආලේපන…
කොහොමත් කෙස් කලඹට ආදරේ නිසා ඒක රැකගන්න ගොඩක් මහන්සි වෙනවනේ. ඇත්තටම ඒ තරම් ලොකු මහන්සියක් වෙන්න ඕනෙකමක් නැහැ. රාත්‍රියේ දී භාවිතා කරන සත්කාරක ආලේපන හොඳ හැටි කෙස් කලඹට උරාගන්නවා. ඒ නිසා රාත්‍රී ආලේපන සඳහා තිබෙන සත්කාරක ආලේපනයක් රාත්‍රියේ දී භාවිතා කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳ දෙයක්. ඒවා ඉසින ආකාරයට හෝ අඩු ඝනත්වයෙන් යුතු ආලේපන ලෙස ගන්නට තියෙනවා. මේවා භාවිතයට යොමු වෙනවා නම්, කෙස්වලට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවනත් නොඅඩුව ලැබෙනවා.

කොණ්ඩය සුන්දර නම් ඒ කෙස් කලඹ හිමි යුවතියත් සුන්දරයි. ඉතින් ඒ වෙනුවෙන් කරන්න බැරි දේවල් නෙවෙයි අද මම කිව්වේ. බොහොම පහසුවෙන්, ඕනෙම කෙනෙකුට කරන්නට පුළුවන් සරල සත්කාරක ගැනයි මේ මතක් කිරීම කළේ.

එහෙම නම් තව එකම එක රාත්‍රී සත්කාරයක් ගැනත් කියන්නම්. ඒ රාත්‍රියේ නින්දට පෙර කොණ්ඩය සැටින් රෙද්දකින් ඔතන්න පුළුවන් නම් එය බොහොම හොඳයි. එසේ කිරීමෙන් කොණ්ඩයේ නියමිත තැන තිබෙනවා, එවිට තෙල් ගතිය උරා ගැනීම අවම කරනවා. ඔබට එය කරදරයක් සේ හැඟෙනවා නම්, එසේ කරන්න එපා. ඒ වෙනුවට ඔබේ කොට්ටයට සැටින් වලින් මැසූ කොට්ට උරයක් දමන්න. එහෙම වුණොත් කෙස් ගසේ දීප්තියට අවශ්‍ය ස්වාභාවික තෙල් ගතිය නොවෙනස්ව පවතිනවා. ඔබත් මේ සරල ප්‍රතිකර්ම කරලා බලන්නකො වෙනස මොන වගේද කියලා.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....