ටී බෑග්ස් විසික් කරන්න එපා

by Ravi Gamage

ටී බෑග්ස් පාවිච්චි කිරීමෙන් පසු ඉවත දමන්නේ නැතුව ශීතකරණයේ ගබඩා කර තියාගන්න. ඒවායින් ඔයාට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා.

ඔයා දවස තිස්සෙම ගොඩක් වෙහෙස වෙලානම් ඉන්නේ ඒ බව ඔයාගේ ඇස්වලින් අනිත් අයට පෙන්නුම් කරනවා. ඔයාට පුළුවන් පාවිච්චි කරපු ටී බෑග්ස් දෙකක් ඇස් උඩ තියාගෙන ටික වෙලාවක් නිදහසේ ඉන්න. බලන්න එහෙම කරලා ඔයාට ලොකු වෙනසක් දැනේවි.

ඔයාගේ ඇස් වටේ කළු වෙලාද? පාවිච්චි කරපු ටී බෑග්ස්වලින් ඇස් වටේ සම්බාහනය කරන්න. ටික දවසක් යද්දී ඇස් වටේ කළු පාට නැති වෙලා යයි.

ඔයා රෑ නිදිවරාගෙන කටයුතු කරන කෙනෙක් නම් පහුවෙනිදාට ඔයාගේ ඇස් ඉදිමිලා වෙහෙස පෙනුමක් ගන්නවා දැකලා ඇති. ඒ වගේ වෙලාවකදී පාවිච්චි කරපු ටී බෑග්ස් දෙකක් ඇස් උඩ තියලා ටික වෙලාවක් ඇස් පියාගෙන ඉන්න. ඉක්මනින්ම ඔයාගේ වෙහෙස පෙනුම නැතිවෙයි.

කකුල්වලින් එන දුගඳ නැති කරන්න මඳ උණුසුම් වතුරට පාවිච්චි කරපු ටී බෑග් එකක් දාලා ඒකට කකුල් දමාගෙන ටික වෙලාවක් උන්නම දුගඳ නැතිවෙලා යනවා.

සමේ පිළිස්සුම් තුවාලයක් ඇතිවුණොත් ශීතකරණයේ ගබඩා කරපු පාවිච්චි කරපු ටී බෑග්ස් දෙකක් එම ස්ථානයේ තබන්න. ඉක්මන් සහනයක් ලැබේවි.

ළූණු කැපීම, මාළු පිරිසිදු කිරීම වගේ දේවල් නිසා අත්වලින් එන දුගඳ නැති කරන්න මඳ උණුසුම් ජලයට අත් දමා ටි බෑග් එකක් අතට අරන් හොඳින් මිරිකන්න.

තුවාල, සීරීම්, මදුරුවන් වගේ සතුන් දෂ්ඨ කරපු තැන්වල පාවිච්චි කරපු ටී බෑග්ස් ඇතිල්ලුවාම ඉක්මන් සහනයක් ලබාගන්න පුළුවන්.

සපත්තුවලින් දුගඳක් එනවානම් පාවිච්චි කරපු ටී බෑග්ස් දෙකක් සපත්තු ඇතුළට දාන්න. ඒකෙන් සපත්තුව ඇතුළේ තියෙන තෙතමනයයි දුඟඳයි ටී බෑගයට උරාගන්නවා.

Leave a Comment

සබැඳි සටහන්....