කතා කරන්න අකැමැති… කාන්තාවන් පීඩා විඳින ශ්වේත ප්‍රදරයට පිළියමක් නැද්ද?

by Ravi Gamage

ශ්වේත ප්‍රදරය කියන්නෙ කාන්තාවන් වැඩි දෙනෙක් පීඩා විඳින ඒත් සඟවාගෙන ඉන්න රෝගී තත්ත්වයක්. කාන්තාවකගේ යෝනි මාර්ගය ඔස්සේ කිසියම් ස්‍රාවයක් වැගිරීම සිදුවන මෙම තත්ත්වය සුද යාම, සෝම රෝගය ලෙසද හඳුන්වනවා. අල්ප ස්‍රාවයකින් ආරම්භ වන මෙම රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් අහිතකර ප්‍රතිඵල ළඟාවෙන්න පුළුවන්.

ආයුර්වේදයට අනුව මෙම රෝගයට තුඩු දෙන හේතු ගණනාවක් දක්වනු ලබනවා. ඒ අනුව එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම, කෑම පිට කෑම, අධික ලෙස මෛථුන්‍යයේ යෙදීම, සූතිකා කාලයේ වෙහෙසීම, බාල වයසේ විවාහය, ආසාවන් උපදින සිතුවිලි, අවිවේකය, තරබාරුව, යෝනියේ සහ ගර්භාෂයේ අර්බුද, ශරීරයේ උෂ්ණාධික බව ආදී වශයෙන් දක්වන්නට පුළුවන්.

මෙහි ආරම්භක අවදියේ රෝගයක් නොවුණත් පිටවන ස්‍රාවය දුගඳ හමනවා නම්, මුදවපු කිරි සේ ඇලෙන ස්වභාවයක් ගනී නම්, තැවරුණු ස්ථාන කැසීමක් ඇතිවේ නම් ඒ රෝගයක පෙරනිමිත්තක්.

මේ තත්ත්වය හේතුවෙන් අධික වෙහෙස, යටි බඩ ප්‍රදේශය පිරුණාක් සේ දැනීම, කලවා වේදනා, ශරීරය දුර්වල වීම, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, සිරුර වැහැරීම, ගර්භාෂගත රෝග, හෘදය දුර්වල වීම, හතිය, සන්ධි වේදනා, හිසරදය, ආහාර අරුචිය මෙන්ම අධික කේන්තිය ද ඇතිවෙන්නට පුළුවන්.

ප්‍රතිකාර නොකළොත්…
මුල් අවස්ථාවේ දී රෝගය හඳුනාගෙන රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර ප්‍රතිකාර නොකිරීමෙන් ගර්භ මුඛය ඉදිමෙන්න පුළුවන්. ස්‍රාවය තැවරීමෙන් දද කුෂ්ඨ ඇතිවෙන්න පුළුවන්. කලාතුරකින් ඩිම්බ නාල ප්‍රදාහ ඇතිවෙන්න පුළුවන්.

මර්දනය කරන්න බැරි ද?
පෞද්ගලික පිරිසිදුභාවය අතිශය වැදගත්. ඇඳුම් විෂබීජ නාශක යොදා සේදීම අවශ්‍යයි. ඒ වගේම කලවා ප්‍රදේශය, ගුද ප්‍රදේශය, යෝනි ප්‍රදේශය උණු වතුරෙන් සේදීම කළ යුතුයි.

ඒ වගේම කිරිබත්, මුං කිරිබත්, මුං ඇට, දිය බත්, තැඹිලි, දේශීය දොඩම් මෙම තත්ත්වයට බොහෝ ගුණදායකයි.
අත් බෙහෙත් කිහිපයක් මතක් කරන්නට කැමැතියි. ඒ අනුව එළකිරි, අමු නෙල්ලි යුෂ, රණවරා, පොල්පලා, ඉරමුසු, බැබිල, රසකිඳ, බැබිල ආදිය මඳ පවනේ වියළා ගෙන තම්බා දවසට කිහිප වරක් බොනවා නම් හොඳයි.
ඉදුණු කෙසෙල්, ඇඹුල් නැති අඹ, රට ඉඳි, දෙළුම්, පේර, මුද්දිරප්පලම්, උගුරැස්ස කටු අනෝදා ආශ්‍රයෙන් සාදන ලද කැඳ වර්ග භාවිතයෙන් ශරීරයේ උෂ්ණාධික බව අඩු කරනවා. එමඟින් ශ්වේත ප්‍රදරයට බලපාන රෝග ලක්ෂණ බොහොමයක් පහසුයි.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....