කොවිඩ් 19 වෛරසයට එරෙහිව අභියෝගාත්මක අත්හදා බැලීමක්….

by Ravi Gamage

-ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නන්ට එන්නත ලබා දී කොරෝනා වෛරසයට නිරාවරණය කරයි
-ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් 30,000ක්

එන්නත් ලබා ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් කොරෝනා වෛරසයට නිරාවරණය වීමට කැමැති පුද්ගලයන්ට ඒ සඳහා ඉදිරිපත් වන ලෙස නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් ඇතුළු පර්යේෂකයින් පිරිසක් ඉල්ලා සිටිනවා. ඒ අදාළ එන්නත වෛරසයට එරෙහිව ආරක්ෂාව සපයන්නේ ද යන කාරණාව විමසා බැලීම අරමුණු කරගනිමින්.

ඒ අනුව එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන ප්‍රධානියා වෙත විවෘත ලිපියක් යවමින් ඔවුන් කියා සිටියේ මෙම “අභියෝගාත්මක අත්හදා බැලීම්” මගින් එන්නතක් නිපදවීම ඉක්මනින් කළ හැකි වන බවයි.

එවැනි අධ්‍යයනයන් “කළ හැකි සහ තොරතුරු සහිත විය යුතු” බව ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් ක්‍රියාත්මක කරන කෝවිඩ් -19 එන්නත් පරීක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනු ලැබීය.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස එන්නත් සායනික අත්හදා බැලීම් 23 ක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අතරින් යම් එන්නතක් සාර්ථක වී ඇත්දැයි අපට දැනගත හැකි එකම ක්‍රමය වන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ට එය ලබා දීමෙන් පසුවයි. ඒ එම එන්නත ලබා ගත් පසුව ඔවුන් එදිනෙදා ජීවිතයේදී කොරෝනා වෛරසයට නිරාවරණය වී ආසාදනය නොවන්නේ නම් පමණක් බවයි මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

බොහෝ අධ්‍යයන සිදු වන්නේ වෛරසය ආසාදන වීමේ අනුපාතය පහත වැටෙමින් තිබෙන රටවල බැවින්, මෙම අත්හදාබැලීම් ලබන වසර දක්වා කල් යා හැකි වුණත්, ‘1 Day Sooner’ නම් සංවිධානය පවසන්නේ මෙය කල් නොදමා ඉක්මනින් කළ යුතුව පවතින බවයි.

ඒ අනුව මෙම සංවිධානය රටවල් 140 කින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 30,000 කට අධික සංඛ්‍යාවක්ගෙන් සමන්විත වන අතර ඔවුන් අභියෝගාත්මක අධ්‍යයනවලට සහභාගී වීමට සූදානමින් සිටින බවයි පැවසෙන්නේ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න, තරුණ පුද්ගලයන්ගෙන් සැදුම් ලත් නොබෙල් ත්‍යාගලාභීන් 15 දෙනෙකු ඇතුළු ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් සියයකට වැඩි පිරිසකගේ සහාය මෙම අභියෝගාත්මක අධ්‍යයන සිදුකිරීම සඳහා දැනටමත් ලැබී තිබෙන බව අනාවරණය වෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සම්පන්න තරුණ ස්වේච්ඡා පිරිසට එන්නත ලබා දීමෙන් පසු කොරෝනා වෛරසය ලබා දීම මෙම ක්‍රියාවලියට ඇතුළත් බව ද එම පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඔවුන්ගේ තර්කය වන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට ඇති අවදානමක් ඇතත් ඉන් සමාජයට ඇති විය හැකි ප්‍රතිලාභ අතිමහත් බවය.
සැබැවින්ම අභියෝගාත්මක අත්හදා බැලීම් සඳහා සහාය පළ කරමින් ඉදිරිපත් කළ ලිපියට, දැනටමත් කොරෝනා වෛරසට එරෙහි ප්‍රමුඛතම මූලාකෘති එන්නතක් නිපදවා ඇති ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධිත ‘ජෙනර්’ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒඩ්‍රියන් හිල් ද අත්සන් තබා තියෙනවා.ඒ අනුව මිනිසුන් මත ක්‍රියාත්මක කරන අභියෝගාත්මක අධ්‍යයන “ඉදිරි මාසවලදී” සිදුවිය හැකි බව ඔහු පවසා සිටියා.

කල්හාරි
විදෙස් පුවත් ඇසුරෙන්

Leave a Comment

සබැඳි සටහන්....