සත්ත්ව කිරි බොන්නට පෙර මේ ගැනත් හිතන්න

by Ravi Gamage

වෙළෙඳපොළ තුළදී හමුවෙන දියර කිරි අතර සම්පූර්ණ යොදය සහිත කිරි, අඩු මේද සහිත කිරි සහ මේද රහිත කිරි කියන ආකාර කිහිපයකින්ම පවතිනවා. ඒවා අතර පැස්ටරීකරණය කරන ලද කිරි වගේම පැස්ටරීකරණය නොකර නැවුම් එළකිරි වශයෙන්ම නිෂ්පාදිත වූවන් ද තිබෙනවා.

පැස්ටරීකරණය කළ කිරි…
සාමාන්‍යයෙන් කිරි සෙල්සියස් අංශක 71 කට පමණ තත්ත්පර 15 ක් පමණ රත් කළ විට තමයි පැස්ටරීකරණය වෙන්නේ. ඒ වගේම පැස්ටරීකරණය කර නැවුම් කිරි ආකාරයටත් පැකට් කරනවා. එයට අමතරව UHT තාක්ෂණය යොදාගෙන (Ultra High Temperature ) නිපදවන ලද දියර කිරි වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙනවා.

ගොඩක් අය කැමැති ෆ්‍රෙෂ් මිල්ක්…
ඉතින් අමු කිරිවලට වඩා වැඩි කාලයක් ෆ්‍රෙෂ් මිල්ක් තබාගන්න පුළුවන් නිසාත් පහසුවෙන් මිලයට ගන්න හැකියාව තිබෙන නිසාත් ඒවා භාවිතයට බොහෝ දෙනෙක් පෙලඹිලා ඉන්නවා. හැබැයි ඊටත් වඩා වැඩි කාලයක් UHT තාක්ෂණය යොදා සකස් කරනු ලබන කිරි තබාගන්න හැකියාව තියෙනවා.

කොහොම හැදුවත් පෝෂණය සමානයි…
මේ කවර ආකාරයකට සකස් කළත් ඒ කිරිවල පෝෂණ අගය සාමාන්‍යයෙන් (සෑහෙන දුරට) එක සමානයි. ඒ අනුව,

  • නැවුම් කිරි වීදුරුවක (මිලිමීටර් 200ක) අඩංගු පෝෂණ අගය…
    -කැලරි 120 – 140
    -ප්‍රෝටීන් 6.6 – 7 ග්‍රෑම්
    -මේදය 6.6- 7 ග්‍රෑම්
    -කාබෝහයිඩ්‍රේට් 9 -10 ක් වෙනවා.

ඒ අනුව මේදය අඩු දියර කිරි වීදුරුවක මේදය ග්‍රෑම් 1.5 දක්වා අඩුවෙනවා. කැලරි ප්‍රමාණය 90කට වගේ අඩුවෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය පොඩ්ඩක් වැඩිවෙනවා.

මේද රහිත කිරි වීදුරුවක…
මේදය රහිත දියර කිරි වීදුරුවක කැලරි 60 ක්, මේදය 0.1 ක් වගේ පැවතියත් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තරමක් වැඩියි. එනිසා මේවා භාවිතයෙන් බලාපොරොත්තු වන තරමේ වාසියක් අත්කරගන්නත් අමාරුයි. මොකද මේදය වගේම කාබෝහයිඩ්‍රේට් වුණත් ඕනෙවට වැඩියෙන් ලබාගන්න එක සුදුසු නැහැ.

පිටි කිරි වීදුරුවක පෝෂණ අගය…
සාමාන්‍යයෙන් කිරි වීදුරුවක කිරි මිලිමීටර් 200ක් අඩංගුයි. කිරි වීදුරුවක් සකස් කිරීමේදී පුරවපු කිරි පිටි තේ හැඳි 03 ක් එකතු කරන්න කියලා තමයි කියන්නේ. එහි කැලරි 120 ක, ප්‍රෝටීන් ග්‍රෑම් 6.4 ක මේදය ග්‍රෑම් 6.4 ක, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 9.8 ක වගේ ප්‍රමාණයක් අඩංගුයි. එයට අමතරව කැල්සියම් මිලි ග්‍රෑම් 230-250ත් අතර ප්‍රමාණයක් වගේම පොස්පරස් මිලි ග්‍රෑම් 180ක් වගේ අඩංගුයි.
ඒ විතරක් නෙවෙයි විටමින් A, C, E, B කාණ්ඩයේ විටමින් වගේම ෆෝලික් ඇසිඩ් ආදියත් අඩංගු වෙනවා.

එකතු කරන විටමින් නිසා…
හැබැයි පිටි කිරි වර්ග නිෂ්පාදනයේදී විටමින් වර්ග අමතරව එකතු කරනවා. ඒ හේතුවෙන් සමහර පිටි කිරි වර්ගවල සමහර විටමින් වර්ග වැඩිවෙන්න පුළුවන්. ඒක හොඳයි කියලා හිතුවත් ඇතැමෙකුට අහිතකර වෙන්න පුළුවන්. ඒ විදියට අනවශ්‍ය අන්දමින් විටමින් වර්ග ශරීරයට ඇතුළු වීම හිතන තරම් හොඳ දෙයක් නෙවෙයි.

කිරි නැත්නම් කැල්සියම් නැද්ද?
කැල්සියම් ලබාගත හැකි හොඳම ප්‍රභවය වන්නේ කිරි කියනා දේ තමයි අද අපේ මනසට කාවද්දලා තියෙන්නේ. ඇත්තටම මිනිසා වානරයාගේ පටන් පරිණාමයට ලක්වෙන්න පටන් ගෙන වසර ලක්ෂ 26 ක් වෙනවා. ඒ වගේම හෝමෝසේපියන්ලා බිහිවෙලා වසර ලක්ෂ දෙකක් වෙනවා. නමුත් ගවයන් ඇති කරන්නට අරගෙන තවම වසර දහදාහයි. ඒත් ඊට කලින් අපට වඩා ශක්ති සම්පන්න මානවයන් බිහිවුණා නේද? ඒ කිරි බීලා නෙවෙයි. දන්නවද ඒ වගේ ශක්ති සම්පන්න මිනිසුන් බිහි වුණේ ශාකමය ආහාර මත යැපිලා කියලා.

ඇත්තටම ගවයට කැල්සියම් එන්නෙත් තණකොළ මඟින්. ඒ විදියට ලෙහෙසියෙන්ම ලබා ගත හැකිව තිබෙන කැල්සියම් ටික ලබාගන්න අපි වටයක් යනවා. ඒ කියන්නෙ ගවයට තණකොළ කවලා ඒ සතාගෙ ඇඟට උරාගත්ත කැල්සියම් ටික අපි ගන්නව, කිරි ටික පරිභෝජනයෙන්. එහෙම කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.

අපේ ආහාරයේ ඇති තරම් කැල්සියම් ප්‍රභවයන්…
කොහොමත් අප ආහාරයට ගන්නා කොළ පැහැති එළවළු, පලා වර්ග මෙන්ම වියළි හාල්මැස්සන්ගෙන් කැල්සියම් වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නට පුළුවන්. (වියළි හාල්මැස්සන් 8 ක කිරි වීදුරුවකට වඩා කැල්සියම් තියනවා.) ඒත් අප අද වෙළෙඳ ප්‍රචාරණ අබියස අතරමංවෙලානෙ ඉන්නෙ. ඉතින් ඒවායින් මිදෙන්න අපට ඕනෙකමකුත් නෑ. කොහොමත් ඒ දේවලින් අපට කාවද්දන්න උත්සාහ කරන්නෙ, කිරිපිටි නැත්නම් කැල්සියම් ඌනතාවක් ඇතිවෙනවා කියලා. ඒ නිසාම අපි ඒ වෙළෙඳ අවශ්‍යතාව සම්පූර්ණ කරන්නෙ අපටත් නොදැනීමයි.

කැල්සියම් බහුල රනිල බෝග…
සෝයා, කජු, රට කජු, ඇට වර්ග, පරිප්පු , බෝංචි වගේම අප ආහාරයට ගන්නා පළා වර්ග බොහොමයක කැල්සියම් බහුලයි. කොහොමත් වෙනත් කිසිම ක්ෂීරපායි සතෙක් තවත් සතෙකුගේ කිරිවලින් යැපෙන්නෙ නැහැ. වැඩුණු පසුව කිරි ආහාරයට ගන්නට පෙළඹෙන්නෙත් නැහැ. ඒත් උසස් මනසක් ඇතැයි සම්මත මිනිසුන් වූ අප මොකද කරන්නෙ.

ළදරු විය ඉක්මවා වයසට යන තෙක්ම තවත් සතෙකුගේ කිරි මත යැපෙන එක. එයත් ලොව බොහෝ රටවලට සාපේක්ෂව දකුණු ආසියාතිකයන් වූ අප තුළ මුල් බැසගත් අත් හරින්නට නොහැකි පුරුද්දක් වෙලා.

කිරිවල අඩංගු ලැක්ටෝස් ජීර්ණයට ලැක්ටේස් කියන එන්සයිමය අවශ්‍යයි. හැබැයි වයස අවුරුද්ද පසුවුණාට පසුව මේ ලැක්ටේස් කියන එන්සයිමය අපේ ශරීරය තුළ නිපදවෙන්නෙ අඩුවෙන්. අවුරුදු පහෙන් පස්සෙ නිපදවෙන්නෙම නැති තරම්. ඉතින් සමස්ත ලෝක ජනගහනයෙන් 70% ක් විතර ලැක්ටේස් නැති නිසා කිරිවලට ආසාත්මිකයි. එනිසා දවසකට මිලිලීටර් 100 කට වඩා බීමෙන් දිරවීමේ අපහසුතා ඇතිවෙන්නට ඉඩ තියෙනවා.

ශරීරයේ බර අඩු කරගන්න හිතනවා නම්…
කිරි බීමට පුරුදුව ඉන්නා ශරීරයේ බර අඩුකර ගන්න අවශ්‍ය අය ඉන්නවා නම් ඒ අය තෝරාගත යුතු හොඳම විකල්පය වන්නේ උදේ බොන කිරි වීදුරුව නැවැත්වීමයි. ඒ වෙනුවට උදේට වතුර වීදුරු දෙකක් බීමට පුරුදු වෙන එක හොඳයි.

කොහොමත් එක් එක් සත්ව විශේෂයන්ට කිරි නිපදවෙන්නෙ ඒ සත්වයාගෙ පැටවාට සරිලන විදියට. ඉතින් ගවයගෙ කිරි කොහොමත් අපේ ශරීරයට ගැළපෙන්න බැහැ. ඇත්තටම අපේ සිරුර උපතේ සිට ක්‍රමයෙන් වැඩෙන අතරෙ මොළය සීග්‍රයෙන් වැඩිවන අන්දමට තමයි මව්කිරි නිපදවෙන්නේ. (වසරක් ඇතුළත කිලෝ 10 ක් පමණ බරින් වැඩිවන අන්දමට) ඒත් ගවයගෙ කිරි නිපදවෙන්නෙ වසරක් ඇතුළත රාත්තල් 1000 ක් පමණ වන ගවයෙක් බවට පත්වන විදියට. ඉතින් අපි මොකද කරන්නෙ ඒ විදියට නිපදවෙන කිරි ටික අරගෙන අපි පරිභෝජනය කරනවා.

ඒ දේ හොඳද කියලා ඔයාම කල්පනා කරන්න.

Leave a Comment

සබැඳි සටහන්....