ගොඩගන්න බැරි විදියටම අක්මාව ලෙඩ වෙලාද?

by Ravi Gamage

අක්මාව ලෙඩ වෙලා. හිතාගන්නවත් බැරි විදියට අසරණ වෙලා. කවුද හිතුවෙ මේ තරම් ඉක්මනින් ලෙඩ ඇඳට වැටෙයි කියලා.

පොඩ්ඩක් හිතන්නකො ජීවිතෙන් බාගයක්වත් ගෙවිලා නැහැ. ඒත් ඔබ ඉන්නෙ මරණයේ දොරකඩ. කොහොමද මේ විදියට අක්මාව ලෙඩ වුණේ. ප්‍රතිකර්මයක් ඇත්තටම නැද්ද? අක්මාව මේ තරම් වැදගත් ඇයි? මේ හැමදේටම පිළිතුරක් මේ සටහන කියවගෙන යනකොට ඔබට ලැබේවි.

අක්මාව වැදගත් වන්නේ ඇයි?
අපේ සිරුරේ තියෙන විශාලතම ඉන්ද්‍රිය තමයි අක්මාව කියන්නෙ. අපේ නිරෝගී බව රැකගෙන යන්න අක්මාවෙන් ලැබෙන පිටුබලය අති විශාලයි. සිරුරේ පැවැත්මට අවශ්‍ය ස්‍රාවයන් ගණනාවක්ම නිපදවෙන්නෙ අක්මාව තුළ. ඒ අනුව කොලෙස්ටරෝල් මේදය, රුධිරය කැටි ගැසීමට උපකාර වන ඇල්බියුමින් ප්‍රෝටීනය නිපදවනු ලබන්නෙ අක්මාව මඟිනුයි. ශරීරයට නැතුවම බැරි පිත ස්‍රාවය වන්නෙත් අක්මාවෙන්.

අක්මාවේ ක්‍රියාකාරිත්වය …
අපේ සිරුරට අවශ්‍ය ග්ලයිකොජන් තැන්පත්ව තියෙන්නෙ අක්මාවේ. අප විසින් ලබාගන්නා ග්ලූකෝස්වලින් කොටසක් තමයි ඒ විදියට ග්ලයිකොජන් ලෙසින් අක්මාවෙ තැන්පත් වෙන්නෙ. ඇත්තටම මේ ග්ලයිකොජන් මඟින් මොනවද සිද්ධවෙන්නෙ. අප ආහාර නොගන්නා වෙලාවට අපේ රුධිරයේ සීනි මට්ටම නිසියාකාරව පවත්වාගෙන යන්නට උදව් වෙන්නෙ මෙන්න මේ ග්ලයිකොජන්.

මේ හැමදේටම වඩා වැදගත් මෙහෙයක් අක්මාව මඟින් ඉටුවෙනවා. ඒ අප ගන්නා ආහාරවල කොටස් මහා අන්ත්‍රයේදී ශරීරයට උරා ගත්තට පස්සෙ, ඒ උරාගත් ආහාරවල විෂ ඉවත් කරන්නෙ අක්මාවෙන්. දන්නවද මේ විදියට අක්මාව ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව. ඒ අනුව අප දැනුවත්ව හෝ නොදැනුවත්ව විෂ ද්‍රව්‍යයක් ශරීරගත වූ සැණින් ඒ කොටස් ගමන් කරන්නෙ අක්මාවට. එහෙම ගියාම අක්මාව විසින් ඒ විෂ පෙරීමකට ලක් කරනවා. ඉන් පසුව තමයි පෝෂ්‍ය කොටස් රුධිරය වෙත ගමන් කරන්නේ.

අක්මාව ලෙඩ වුණේ කොහොමද?
අක්මාව ලෙඩ වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. ඉන් මූලිකම කාරණාව වෙන්නෙ අධික ලෙස මත්පැන් පානය කිරීම. දන්නවද අධිකව මත්පැන් පානය කරනකොට අක්මාව තුළ තිබෙන හෙපටොසයිට් නැමැති සෛල විනාශ වෙන වග.

ඒ විදියට හෙපටොසයිට් සෛල විනාශ වෙද්දි අක්මාව දුර්වල වෙන්න ගන්නවා. ඒ හේතුවෙන් තමයි අධික ලෙස මත්පැන් පානයට යොමු වූවන්ගේ අක්මාව විකෘති වී දුර්වල වෙන්නේ. එය අප කවුරුත් හඳුන්වන්නේ “සිරෝසිස්” රෝග තත්ත්වය ලෙසයි.

හැබැයි සිරෝසිස් රෝගයට බලපාන එකම හේතුව මත්පැන් පානය නෙවෙයි. ඒ සඳහා තවත් හේතුකාරක තියෙනවා.

ඒ අනුව හෙපටයිටිස් බී සහ සී කියන වෛරස අක්මාවට කරන බලපෑම සුළුපටු නෙවෙයි. ඒ බලපෑමේ අවසාන ප්‍රතිඵලය සිරෝසිස් රෝගයට ගොදුරු වීම.

දන්නවද හෙපටයිටිස් වෛරසය ශරීරයට ඇතුළු වුණාම ශරීරයෙන් ඉවත් කරන්න ලෙහෙසි නැහැ. මොකද ඒ වෛරසය අක්මාව තුළ තැන්පත් වන නිසා.

මොකක්ද මේ සිරෝසිස්…
අක්මාව කියන්නෙ කොතෙක් විනාශයට පත්වුණත් නැවත ලියලන අවයවයක්. නොයෙකුත් හේතු මත විනාශ වෙන අක්මාව නැවත නැවත ලියලනවා. හැබැයි ඒ විදියට ලියලන්නෙ මුල් ආකාරයට නෙවෙයි. විකෘති විදියට. ඉතින් විවිධ හේතු මත විනාශයට පත්වෙන අක්මාව වෙනුවට අපට උරුම වෙන්නෙ විකෘති අක්මාවක්. මුලින් තිබුණට වඩා හැකිළුණු කුඩාවුණු අක්මාවක්. ඒ විදියට අක්මාව විකෘති වීම තමයි අපි සිරෝසිස් ලෙස හඳුන්වන්නෙ.

එහෙම වෙන්නෙ ඇයි?
අපට විස්තර කළ හැකි දේ වගේම නොහැකි හේතු බොහොමයක් නිසා අක්මාව රෝගී වෙනවා. ගොඩක් වෙලාවට එයට බලපාන්නෙ ප්‍රතිශක්තිකරණය සම්බන්ධ හේතු. මත්පැන් පානයට අමතරව අක්මාව ලෙඩ වෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නෙ අක්මාව තුළ මේදය තැන්පත් වීම. ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රටේ එම තත්ත්වය බහුලව දක්නට ලැබෙනවා.

එයට බලපාන ප්‍රබල හේතුව බවට පත්ව තියෙන්නෙ පසුගිය වසර 25- 30 ක් මුළුල්ලේ අපේ ජීවන රටාව අසාමාන්‍ය ලෙස වෙනස් වීම. ඒ වැරැදි ආහාර රටාව සහ අවිවේකී බව නිසා. අද බහුතරයක් යැපෙන්නෙ ක්ෂණික ආහාර මත. ඒවායේ කැලරි ප්‍රමාණය අධිකයි. මේදය සහ සීනි බහුලව අඩංගුයි. ඉතින් නිතරම කාර්යබහුල වුණු අප කුස පුරවාගන්නා කෙටි කෑම තුළ අඩංගු තෙල්, පිටි, සීනි අහිතකර ලෙස අපේ ජීවිතේට බලපෑම් කරනවා.

ඒ විතරක් නෙවෙයි අද බොහොමයක් දෙනා කය වෙහෙසා වැඩ කරන්නෙ නැහැ. ඉතින් දහඩිය බිඳක්වත් සිරුරෙන් පිටවෙන්නෙ නැහැ. එතකොට වෙන්නෙ සිරුරේ මේදය තැන්පත් වෙන එක. ඉතින් අපේ රටේ බහුතරයක් අක්මා රෝගීන් බවට පත්වෙන්නෙ මෙන්න මේ අනවශ්‍ය විදියට තෙල් තැන්පත් වීම.

දිල්

 

Leave a Comment

සබැඳි සටහන්....