රෑට නින්ද යන්නෙ නෑලු… හේතුවක් දන්නෙත් නෑ….

by Ravi Gamage

ගොඩක් අය රෑ පුරා නිදිවරනවා. නින්ද නැතිව ඉඳලා උදේ ඇස් දෙකම ඉඳිමිලා. නිදිමත වෑහෙනවා. ඒත් නිදාගන්න ඇඳට ගියාම නින්ද අහලකටවත් එන්නෙ නැහැ. ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි? ඔය සිත ප්‍රශ්න කරනවා. සිතට සහනයක් එන්න හේතුව මොකක්ද කියලා කියන්නයි යන්නෙ.

නින්ද මිනිසාට අවශ්‍යම දෙයක්. ඒ වුණත් හැමෝටම එක වගේ නින්ද අවශ්‍ය නැහැ. සමහරුන්ගෙ වයසට අනුව නින්ද අවශ්‍ය කාලය බොහොම කෙටි වෙන්න පුළුවන්. තවත් අය කාලයක් නිදිවරාගෙන ඉඳලා පුරුදු වුණාම නින්ද යන්නෙ නෑ. ඒ විභාගයකට සූදානම් වෙන කාලයේ අවදියෙන් ඉඳලා පුරුදු වුණාම කාලයක් යන තුරු ඒ පුරුද්ද නිසා නින්ද යන්නෙ නැහැ.

ඒ වගේම වයස අවුරුදු 50 ට වැඩි අයට නින්ද යනවා අඩුයි. මොකද ඒ අයට ඒ තරම් කාලයක් නින්ද අවශ්‍ය නැති නිසා.

දහවල් කාලයේ නිදාගත්තම…
සමහරු දවල් කාලයේ නිදාගන්නවා. ඉතින් රෑ පුරා නින්ද යන්නෙ නැතිව ඇහැරගෙන ඉන්නවා. මානසිකව යම් පීඩාවකින් ඉන්න අයට නම් කොහොමත් නින්ද ළඟාවෙන්නෙ නැහැ. ඒ නිසා තමයි මානසික රෝග ඇති අයට නින්ද නොයන්නෙ.

නිදි පෙති එපා…
බොහෝ වෙලාවට එක් එක් රෝග තත්ත්වයන් හේතුවෙන් ලබාගන්නා ඖෂධ වර්ගත් ඔබේ නින්ද සොරාගන්නවා.
මෙන්න මේ වගේ දේවල් නිසා ගොඩක් අය නිදි පෙති භාවිතයට පුරුදුව ඉන්නවා.ඒත් ඒ පුරුද්ද නම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඉන් සිදුවිය හැකි අතුරු ආබාධ බොහොමයි. කාලයක් එක දිගට ගත්තොත් ඇබ්බැහි වෙනවා. එතකොට රෑට විතරක් නෙවෙයි දවල් දවසමත් ඉන්න වෙන්නෙ නිදිමතත් එක්ක තමයි.

රෝගී තත්ත්වයන් නිසා නින්ද නොයනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා සමඟින් කතා කිරීමෙන් ප්‍රතිකර්ම සොයා ගන්න පුළුවන්.

මුළු දවසම ඉන්නෙ නිදන කාමරේ ද?
සාමාන්‍යයෙන් නින්ද අඩුවෙන්නෙ එයාලට නින්ද අවශ්‍ය නැති නිසා. වයසත් එක්ක නින්ද අවශ්‍ය කාලය ටිකෙන් ටික අඩුවෙනවා. ඒ අය පැය හත අටක් නිදාගන්න උත්සාහ කළාට එයාලට පැය දෙක තුනක නින්දක් හොඳටම ප්‍රමාණවත්.

කොහොමත් නිදාගන්න වෙලාවට විතරක් නිදන කාමරයට යන්න. දවස තිස්සෙම නිදන කාමරයේ ඇඳට වෙලා ඇලවෙලා ඉන්න අයට නින්ද යන්නෙ නැහැ. ඒ වගේම නිදිමත එනතුරා රූපවාහිනිය බලන්න එහෙමත් නැත්නම් පොතක් කියවන්න, යමක් ලියන්න පුළුවන් නම් ඔබගෙ ඇස් වෙහෙසීම නිසා ඉක්මනින් නින්ද ළඟාවෙන්න පුළුවන්.

නින්දට කලින් ත්‍රාසජනක දේ නැරඹීම හොඳයි ද?
හැබැයි නින්දට පෙර සිතට බය, ත්‍රාසය දනවන සිදුවීම් ඇතුළත් රූපරාමු නැරඹීම නින්ද අඩු කරන්නට හේතුවක් වෙන්න පුළුවන්. නින්දට කලින් හිත පහන් වෙන අන්දමින් භාවනාවක යෙදෙන්න, එහෙමත් නැත්නම් සිත නිවන සංගීතයකට සවන් දෙන්න පුළුවන් නම් ඒක සුවදායි නින්දකට මඟක්.

හිත සතුටින් අවදි වෙන්න නම් හොඳ නින්දක් අවශ්‍යයි. ඉතින් හොඳ නින්දක් ලබන්න නම් හිතේ තියෙන කුණු කන්දල් ඔක්කොම බිමින් තියලා නිරවුල් මනසකින් නින්දට යන්න ඕනෙ. එහෙම වුණාම නින්ද යන්නෙ නැහැ කියලා මැසිවිලි නගන්න වෙන එකක් නැහැ.

කල්හාරි දසනායක

Leave a Comment

සබැඳි සටහන්....