බබාට අමතර ආහාර හුරු කරන්නෙ කොහොමද?

by Ravi Gamage

කිරි සිනහවක් ඇසෙන නිවෙසේ සතුට  පිරී ඉතිරී යන බව අමුතුවෙන්  කියන්න අවශ්‍ය නැහැ නෙ. ඒ සතුට කිසිම  විදියකින් සේදිලා යනවට කිසිම අම්මෙක් තාත්තෙක් කැමැති  නැහැ. ඔබගෙ තුරලට ආව කිරි සිඟිත්තගේ මුල් මාස හය ගෙවිල ඉවර උනාට පස්සේ අමතර ආහාර ඒ කියන්නෙ පරිපූරක ආහාර ලබාදෙන්නෙ කොහොමද කියල කතා කරමු නේද?

දරුවාගෙ පළමු  මාස හයේදී දරුවට මවුකිරි  විතරක්ම දෙන්න කියලනෙ වෛද්‍යවරු නිර්දේශ කරන්නෙ. ඒ වුණත් මාස හයක් වෙද්දි උදාවෙන්නෙ දරුවා සීඝ්‍රයෙන් වර්ධනය වෙන කාල පරිච්ඡේදය.ඉ තින් ඒ කාලයෙදි  නම්, දරුවගෙ පෝෂණයට මවුකිරි පමණක්ම මදි. එහෙම නම් මවුකිරිවලින් ලැබෙන පෝෂණයට අමතරව ලබාදිය යුතු පෝෂණ කොටස් ලබා දීම සිදුකරන්නම ඕනේ. ඒ වෙනුවෙන් දරුවාගේ ආහාරයට පරිපූරක  ආහාර ඒ කියන්නෙ අමතර ආහාර එකතු කරන්නට සිදුවෙනවා.

මේ කාලයේදී දරුවාගේ මානසික වර්ධනය මෙන්ම කායික වර්ධනයත් උපරිමව සිදුවෙන නිසා, ඒ අවශ්‍යතාව උදෙසා දරුවාට අමතරව පෝෂණීය ආහාර ලබාදීම බොහොම වැදගත්. ඒ නිසාම දරුවාට මාස හය ලබනවාත් සමඟම දරුවාගේ ආහාරයට පරිපූරක ආහාර එකතු කිරීම අවශ්‍යයි. හැබැයි පරිපූරක ආහාර පටන් ගත්තද දරුවාට සුපුරුදු විදියට මවුකිරි ලබාදීමත් දිගටම කළ  යුතුම බව අමතක කරන්න එපා.

උත්තේජනය බොහොම වැදගත්…
දරුවාට ආහාර ලබාදීම දරුවාගේ පැත්තෙන් ලොකු ක්‍රියාවලියක්. මොකද ඒ අවස්ථාවේ දී දරුවා වර්ණ ගැන, හැඩතල ගැන ඉගෙන ගන්නවා. අම්මගෙ ආදරය ගැන, පවුලේ අය ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඒ අවස්ථාව දරුවට සතුටුජනක මොහොතක්  බවට පත්කරන එක මවකගෙ වගකීමක්. ඒ සතුට ළඟා කරගන්න කෑම කවන වෙලාවේදී දරුවාට විවධ උත්තේජන ලබාදෙන්නට කටයුතු කිරීම අවශ්‍යම දෙයක්.

සූදානම කොහොමද?
දරුවාට කෑම ලබාදෙන මොහොත ප්‍රියජනක අවස්ථාවක් බවට පත්කර ගන්නවා වගේම එම අවස්ථාවට සූදානම් වීම බොහොමත්  වැදගත්. මෙහිදී දරුවාට වෙන්කළ පිඟානක්, කෝප්පයක්, හැන්දක් තිබීම අත්‍යවශ්‍යයි. එතකොට එයා කෑම වෙලාව මේ කෝප්ප පිඟන් ගැටෙන ශබ්දයත් එක්ක හඳුනාගන්නවා. ඒ දේවල් එක්ක මේ කෑම වේලාව කියන පණිවිඩය දරුවා වෙත යැවීමයි. ඒ පණිවිඩය ලැබීමත් එක්ක එයා කෑම වේලාවට සූදානම් වෙනවා. එය ඇත්තටම අවශ්‍යම කාරණයක්.

දරුවට කෑම සකස් කරන අවස්ථාවේ පටන් ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. දරුවගෙ කෑම වේල සකස් කරන්නට පෙර අම්මා හෝ කෑම සකසන කෙනා සබන් යොදා හොඳින් අත් සෝදාගෙන පිරිසිදු වීම කළ යුතුම දෙයක්. කෑම කවන්නට පෙරත් ඒ පිරිසුදුකම තිබිය යුතුමයි. ඒ වගේම දරුවාට කෑම කවන්නට බොහොම නිස්කලංක, බාධාවක් නැති, අම්මයි බබයි අතර හොඳ සම්බන්ධයක් ගොඩනඟා ගතහැකි ස්ථානයක් තෝරාගැනීම සිදුකළ යුතුම දෙයක්.

දරුවගෙ මොළයේ වර්ධනයට විවිධ උත්තේජන ලබාදීම සිදුවිය යුතුම දෙයක්. දරුවා ඒ දේවල් ඉගෙන ගන්නේ පරිසරයෙන්. විවිධ වර්ණ, විවිධ රස, විවිධ හැඩතලවලින් ආහාර ලබා දීමෙන් දරුවාගේ මොළයේ වර්ධනය බොහෝ වේගවත් වෙනවා. අපි ඒ දේ ගැන විශේෂයෙන් හිතන්න ඕනේ.

සැබවින්ම දරුවා මේ ඉගෙන ගන්නෙ අලුත්ම දෙයක්. මොකද එයා මෙච්චර කාලයක් බිව්වේ මවුකිරි. ඉතින් කෑම ගැන, ඒවායේ රස ගැන, පාට ගැන එයා මොනවත්ම දන්නෙ නැහැනෙ. ඉතින් මේ දේවල් දරුවාට කියල දෙන්න නම් අම්මට බොහොම උනන්දුවක් වගේම ඉවසිල්ලක් තියෙන්න ඕනේ. හැබැයි අම්මලට එක දෙයක් කියන්නම වෙනවා, ඒ රුපවාහිනියේ රූප පෙන්නලා දරුවට කෑම කවන්න පුරුදුවෙලා තියෙනවා නම් ඒක ඉතාම නුසුදුසු දෙයක්. එවිට අම්මයි බබයි අතර තිබෙන සම්බන්ධය කැඩෙනවා. ඒ වගේම දරුවගෙ ඇස්වලට හොඳත් නැහැ. ඒ වගේම ආහාර ගැනීමේදී දරුවා ඉගෙන ගන්නා දේ බොහොමයි. ඒ දේවල් රූපවාහිනිය නරඹමින් කෑම කවද්දී නොලැබී යන්නට පුළුවන්. එනිසා දරුවට කෑම දීමට තෝරාගත යුතු වන්නේ බොහොම නිස්කලංක තැනක්. ඒ ගැන මවුවරුන්ගේ අවධානය යොමුවීම අවශ්‍යමයි.

දරුවට සීනි දෙන්න හොඳම වයස
දරුවගේ මොළයෙන් සියයට අසූවක්ම වර්ධනය වෙන්නේ මුල් අවුරුදු තුනේදියි. ඉන් වැඩි කොටසක් වර්ධනය වෙන්නෙ පළමු අවුරුද්දෙදි බව ඔබ නොදන්නවා ඇති. ඇත්තටම දරුවගෙ මොළයේ වැඩි කොටසක් වර්ධනය වෙන පළමු වසරේදි දරුවට සීනි දෙන්න එපා කියල වෛද්‍යවරු වශයෙන් අපි කියනවා. දරුවට සීනි නොදීම ඉන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම ජයග්‍රහණය. සීනි දෙන්නම අවශ්‍ය නම් ඒක පුළුවන් තරම් පමා කරන්න. මොකද දරුවෙකුට සීනි දුන්නම අනෙක් රසවල් සේරම වැහෙනවා. එවිට දරුවා කෑම කන්න මැලිවෙනවා. සීනි දෙන එක පුළුවන් තරම් පමා කළොත් දරුවා හොඳට කෑම කනවා. ඒ නිසා ලුණු සහ සීනි දරුවට නොදී ඉන්න පුළුවන් නම් වඩා හොඳයි.

පරිපූරක ආහාර පටන් ගන්නෙ කොහොමද?
මාස හයක් යන තුරු දරුවගෙ ආහාරය වුණේ මවුකිරි. ඇත්තටම දරුවා මේ ලබන්නෙ අලුත් අත්දැකීමක්. ඉතින් දරුවට පරිපූරක ආහාර ලබාදීම බොහොම සැලකිල්ලෙන් කළයුතු දෙයක්. එහෙම නම් දරුවට පරිපූරක ආහාර පටන් ගන්නා මුල්ම දවස ගැන කතා කරමු.

අපි දරුවගේ ආහාරය බත්වලින්ම පටන් ගනිමු. බත් තේ හැඳි තුන හතරක් විතර අරගෙන සියුම් තලපයක් වන සේ හොඳින් මතගාගන්න. කැබැලි නැතිවෙන තුරුම මතගා ගැනීම කළ යුතුයි. මේ වනතෙක් දරුවා හුරුවෙලා ඉන්නේ මවුකිරි රසට නිසා, පළමු දවසේ මතගා ගත් බත් තලපයට මවුකිරි ස්වල්පයක්  මිශ්‍ර කරන්න. මෙසේ සකසා ගත් බත් තලපයෙන් තේ හැඳි 1ත් 3ත් අතර ප්‍රමාණයක් දරුවාට කෑමට දෙන්න. පළමු දවසේ එක වේලක් ලබාදීම හොඳටම ප්‍රමාණවත්.

දෙවෙනි දවසේ මෙසේ සකසා ගත් බත් තලපය ප්‍රධාන ආහාර වේල් දෙක තුන සඳහාම ලබා දෙන්නට පුළුවන්. මෙසේ පරිපූරක ආහාර ලබා දුන්නද සුපුරුදු ලෙසම දරුවාට මවුකිරි ලබාදීම කළ යුතුමයි. මෙසේ දරුවාට ලබා දෙන ආහාරය සැකසීමේදී  දියරමය ස්වභාවයකින් නොව අර්ධ ඝණ මෘදු තලපයක් සේ සකසා  ගැනීමයි කළ යුත්තේ.

මෙසේ දවස් දෙක තුනක් පමණ මවුකිරි මුසු කළ, බත් තලපය දීමෙන් පසුව හතරවන දවසේ පටන් ඒ බත් තලපයට අලුත් ආහාර එකතු කරන්නට පුළුවන්. හැබැයි එක දවසකට එකතු කළ යුත්තේ එක් ආහාරයක් එක්කෑම වර්ගයක් පමණයි. එවිට කුමන හෝ ආසාත්මිකතාවක් ඇතිවුණොත් ඒ ආහාර වර්ගය කුමක්දැයි හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. මේ විදියට හතරවන දවසේ පටන් පරිප්පු වැනි ධාන්‍ය වර්ග පොඩ්ඩ පොඩ්ඩ ආහාරයට එකතු කරමින් නව ආහාර හඳුන්වා දීම කරන අතර තුර දෙන ආහාර ප්‍රමාණය තේ හැඳි තුන හතර දක්වා වැඩි කරන්නත් පුළුවන්. එසේ ප්‍රධාන ආහාර වේල් දෙකට තුනට බත් තලපය දෙන අතරම හයවන දවස වන විට කෙටි ආහාර වේල ලබා දෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ කෙටි ආහාරයට හොඳට මතගා ගත් ගස්ලබු කැබැල්ලක් හෝ කෙසෙල් කැබැල්ලක් එකතු කරගන්නට මුල් අවස්ථාවේ දී පුළුවන්. ඉතින් ඔබේ දරු පැටියාට අමතර ආහාර ඒ කියන්නේ පරිපූරක ආහාර ලබාදීමේ වැදගත්කම වගේම මුල් දින කිහිපයේ අලුත් ආහාර හුරු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධවත් අද අපි කතා කළානෙ. පළමු දින හයෙන් පසුව දරුවාට පරිපූරක ආහාර ලබා දෙන්නේ කොහොමද කියල අපි ඉදිරියේ දී කතා කරමු.

උපදෙස් : වෛද්‍ය ඉරංග මදුෂාන්
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී
දිසා රෝහල, මැණික්හින්න

සටහන : කල්හාරි දසනායක

Leave a Comment

සබැඳි සටහන්....